මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි



අයි.ටීවී. යනු බි‍්‍රතාන්‍ය පුවත් නාළිකා අතර කැපී පෙනෙන නාළිකාවකි. අයි.ටීවී. නාළිකාවේ, ආසියානු කලාපයේ පුවත් වාර්තා කරන මාධ්‍යවේදිනියක වන්නේ ඩෙබී එඞ්වර්ඞ්ස් ය. මැය ස්කොට්ලන්ත ජාතික මාධ්‍යවේදිනියකි. අයි.ටීවී. නාළිකාවේ පුවත් ඉදිරිපත් කරන නිවේදිකාවකි. මේ ඇයට සිදුවුණු ඇබැද්දියයි.

 ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි සම්බන්ධයෙන් සහ ළැව් ගිනි හේතුවෙන් විපතට පත් වූ සතුන් ගැන පුවත් ඉදිරිපත් කරමින්, ඩෙබී මේ වනවිට  ඕස්ටේ‍්‍රලියාවේ රැඳී සිටින්නීය.

පසුගිය දා ඇය කැන්ගරු දූපතට ගියේ ළැව් ගිනිවලින් සිදුවුණු හානිය වාර්තා කිරීමටය.

කැන්ගරු දූපත (කැන්ගරු අයිලන්ඞ්) යනු  ඕස්ටේ‍්‍රලියාවට අයත් දූපතකි. පිහිටා ඇත්තේ දකුණු  ඕස්ටේ‍්‍රලියා ප‍්‍රාන්තයට ඔබ්බෙනි.

ටැස්මේනියාවටත්, මෙල්විල් දූපතටත් පසු  ඕස්ටේ‍්‍රලියාවට අයත් තෙවැනි විශාලතම දූපත වන්නේ ‘කැන්ගරු අයිලන්ඞ්’ දූපතය.

බොහොම සුහඳශීලී විනෝදබර චරිතයක් වන ඩෙබී රැවටීමට අපූරු විහිළුවක් සැලැසුම් කළේ හමුදා පශු වෛද්‍ය ගැරට් හෝල්, වන අඩවි නිලධාරී සෑමි මිචෙල් ඇතුළු පිරිසය. ඩෙබීගේ කැමරා කණ්ඩායම ද ‘විහිළුවට’ සම්බන්ධ වූ බව පසුව අනාවරණය විය.

ඩෙබී, කැමරා කණ්ඩායම සමඟ කැන්ගරු දූපතේ විපතට පත් වුණු සතුන්ගේ සුව දුක් විමසීමට ගිය විට වෛද්‍ය ගැරට් හෝල් සහ වන අඩවි නිලධාරී සෑමි මිචෙල් ඇයට පවසන්නේ, බිහිසුණු සතකු සිටින බවය.

පෙනුමින් කෝලා වලසකු (කෝලා පෙනුමින් හුරුබුහුටි වලසකු වුවත්, වලස් පවුලේ සාමාජිකයකු නොවේ.) වැනි වලසකු සිටින බවත්, ඒ වලසා මිනිසුන්ට පහර දෙන්නේ ගස්වල සිට ඇඟට පනිමින් බවත් වෛද්‍ය ගැරට් හෝල් සහ වන අඩවි නිලධාරී සෑමි මිචෙල් දෙදෙනා ඩෙබීට බොරුවක් කියයි.

සංචාරකයන් මෙම වලසුන්ගේ පහර කෑමට ලක් වන බවත්, වලසුන්ගේ ඇති උල් දත්වල විස ඇති බවත් ඩෙබී ට බොරු කියයි.

‘ඩොප් බෙයාර්’ යනුවෙන් එම සතා හඳුන්වා දෙමින්, ඌ වඩා ගැනීමට නම් ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරැුසිය යුතු බවත්, ඇස් ආවරණ පැළඳිය යුතු බවත් හෝල් සහ මිචෙල් පැහැදිලි කරති. ඩෙබී ඒ සියලූ දේ හොඳින් අසා සිටින්නේ, ඒ දේවල් විශ්වාස කරමිනි.

ආරක්ෂිත ඇඳුමින්, අත් ආවරණවලින් සහ බූට් සපත්තුවලින් ඩෙබී සරසවන්නේ ද හෝල් ය.

ඉන්පසු කැමරාවට මුහුණ දෙන ඇයට මිචෙල් ‘ඩෙ‍්‍රප් බෙයාර්’ ගෙනැවිත් දෙන්නේ ද ඉතා ප‍්‍රවේසමෙනි. ‘ඩෙ‍්‍රප් බෙයාර්’ උග‍්‍ර විස නියපොතු ඇති සතෙකු බව ද පවසමිනි.

ඒත් සැබැවින්ම ‘ඩෙ‍්‍රප් බෙයාර්’ කියා සතකු නැති අතර, ඩෙබීට වඩා ගැනීමට ගෙනැවිත් දෙන්නේ අහිංසක කෝලා වලසෙකි.

ඩෙබී, ඌ වඩා ගෙන උගේ බිහිසුණු ස්වරූපය සහ මිනිසුන්ට පහර දෙන ආකාරය කැමරාවට විස්තර කරයි. සියල්ල අවසන් වෙද්දී, තමන් වඩා ගත්තේ නිකම්ම නිකම් අහිංසක කෝලා වලසකු බව ඩෙබී ට වැටහෙයි. ඒ, හෝල් ට තවදුරටත් ඔහුගේ සිනහව හංගා ගැනීමට නොහැකි වන බැවිනි.

තමන් මෝඩයකු කිරීමට  ඕස්ටේ‍්‍රලියානුවන් සමත් වූ හැටි වැටහීමෙන් ඩෙබී ද සිනාසෙයි.

මෙම හාස්‍යජනක සිදුවීම මේ වනවිට අයි.ටීවී. පුවත් ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් හරිහරියට ප‍්‍රසිද්ධියට පත් වී ඇත.

ලූසිත ජයමාන්න
අයි.ටීවී. නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS