පොලිස් නිල සුනඛ වෙන්දේසි ආයේ නෑ



වෙනත් සතුන්ට සාපේක්ෂව සුනඛයින් යනු මිනිසාට වඩාත් හිතවත්, සමීප මෙන්ම වෙන් කළ නොහැකි තරමේ සබඳතා ගොඩනගා ගන්නා සත්වයෙකි. තම ස්වාමියාගෙන් වෙන්වීම සුනඛයෙකුට මෙන්ම එම සුරතලාගෙන් වෙන්වීම සත්වයාගේ හිමිකරුටද ලේසි පහසු කටයුත්තක් නොවේ.

පසුගියදා පොලිස් නිල සුනඛ වෙන්දේසියක් පැවති අතර එය බොහෝ අමානුෂික කටයුත්තක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහ කෙරිණි. දස වස­රක් හෝ ඊට කිට්ටු කාල­යක් සුන­ඛයා හා උගේ ස්වාමියා අතර පැවැති සබඳතාව මුදලකට ලංසු තබා හමාර කිරීම පහසු කටයුත්තක් නොවේ. කඳුළු පිරි දෙනෙ­තින් ස්වාමියා දෙස අව­සන් බැල්ම හෙළන සුන­ඛ­යාගේ ගෙල බැඳි කර­ප­ටියේ කෙළ­වර අලුත් ස්වාමියා අතට පත්වන්නේ කෙන­කුට සතු­ටත් ‍තවත් අයකුට වේදනා කන්ද­කුත් උරුම කර­මිනි.

කෙ‍සේ වෙතත් මේ වන විට පොලිස් නිල සුනඛ වෙන්දේසිය නතර කිරීමට තීරණය කර තිබේ.

මින් ඉදිරියට එලෙස සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසි නොකරන ලෙසටත් එම සතුන්ට සුදුසු පරිදි පහසුකම් ලබාදී පොලිස් නිළ සුනඛ කොට්ඨාශය විසින් රැක බලා ගැනීම සිදුකළ යුතු බවට ද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත උපදෙස් ලබාදී තිබේ.

එය සුරතල් සතුන්ට සෙනෙහස ලබාදෙන කාටත් ඉතා සතුටුදායී පුවතකි.

මහ­නු­වර පොලිස් නිල සුනඛ කොට්ඨා­ස­යේදී පසු­ගි­යදා සිදු කෙරුණු සුනඛ වෙන්දේ­සියේ පිට­තට නොපෙ­ණුනු හැඟු­ම්බර කතාව වටගාගෙන මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට කාගේත් ගෞරවය හිමිවිය යුත්තේමය.

අප­රාධ මැඬ­ලීම පිණිස පොලිස් දෙපා­ර්තු­මේ­න්තු­වට විශාල දාය­ක­ත්ව­යක් ලබා­දුන් පොලිස් නිල සුනඛ කොට්ඨා­ස­යට අනු­යු­ක්තව රාජ­කාරි කළ සුන­ඛ­යන් 25 දෙනෙකු වෙන්දේසි කිරීම සමා­ජය තුළ දැඩි කති­කා­වක් ඇති කිරී­මට හේතු දෙකක් බල­පෑ­වේය. එකක් නම් මෙම සතුන් ඔවුන්ගේ ස්වාමි­න්ගෙන් වෙන්කර වෙන්දේසි කිරීමයි. අනෙක නම්, 1948 වසරේ පොලිස් නිල සුනඛ අංශය ඇති කළදා පටන් පැවැති කිසිදු වෙන්දේ­සි­ය­කදී නොවි­කු­ණුනු මිල­කට මෙහිදී සුන­ඛ­යකු අලෙවි වීමයි. සාමාන්‍ය වෙළෙඳපොළ වටි­නා­කම රුපි­යල් 40,000ක් පමණ වන ලැබ්‍ර­ඩෝර් (Labrador) වර්ගයේ සුන­ඛ­යකු මෙම වෙන්දේ­සි­යේදී අලෙවි වූයේ රුපි­යල් 10,1000ටය. බ්‍රීත් නැමැති මෙම සුන­ඛයා මීට මාස හය­කට පමණ ඉහ­තදී පොලිස් නිල සුනඛ කොට්ඨා­ස­යට ලැබුණේ මහ­ජන පරි­ත්‍යා­ග­යක් ලෙසය.

වයස අවු­රුදු දෙකක් පමණ වන බ්‍රීත් පොලිස් රාජ­කාරි සඳහා පුහුණු කිරී­මට අසීරු වීම නිසා වෙන්දේසි කිරී­මට තීර­ණය කර තිබේ. සිම්බා නැමැති  ලැබ්‍ර­ඩෝර් වර්ග­යේම සුන­ඛ­යකු රුපි­යල් 50,000ටත් රෙක්ස් නැමැති බෙල්ජි­යම් මැල­නො­යින් සුන­ඛයා රුපි­යල් 23,000ටත් රෙජී නැමැති රොට්ව­ය­ලර් සුන­ඛයා රුපි­යල් 17,500ටත් ලිලී නැමැති ඩැල්මේ­ෂන් සුන­ඛයා රුපි­යල් 16,000ටත් මෙහිදී වෙන්දේසි විය. අඩුම මිල­කට වෙන්දේසි වූයේ රෝසි නැමැති ලැබ්‍ර­ඩෝර් වර්ගයේ බැල්ලය. වයස අවු­රුදු 10 ඉක්මවා සිටි ඇයට නියම වූ මිල වූයේ රුපි­යල් 1,100කි. මොවුන් ඇතුළු සුන­ඛ­යන් 25 දෙනා වෙන්දේසි කිරී­මෙන් පොලිස් දෙපා­ර්තු­මේ­න්තු­වට ලැබී තිබුණු මුදල රුපි­යල් 3,15,800කි.

මෙම සුනඛයින් පුහුණු කිරීම ද පහසු කටයුත්තක් නොවේ. පුහු­ණුව සඳහා සුන­ඛ­යකු වයස අවු­රු­ද්දක් සම්පූර්ණ වීමට ප්‍රථම යොමු කළ යුතුය. මාස හයක පමණ කාල­යක් මූලික පුහු­ණුව ලබා දීමෙන් පසු බල්ලාගේ විශේෂ දක්ෂතා හඳුනා ගැනී­මක් සිදු­ක­රයි. ඒ ඔස්සේ නිල සුන­ඛයා මත්ද්‍රව්‍ය සෙවීමේ රාජ­කා­රි­ව­ලද අප­රාධ මැඬ­ලීමේ රාජ­කා­රි­ව­ලද නැත­හොත් ප්‍රභූ ආර­ක්ෂක රාජකා­රි­ව­ලද යොද­වන්නේ යන්න තීර­ණය කෙරෙයි. පුහු­ණුව ආර­ම්භයේ සිට රාජ­කාරි දිවිය අව­සන් වන­තුරු සුන­ඛයා රැක බලා ගැනීම පැව­රෙන්නේ එකම නිල­ධා­රි­ය­කු­ටය.

මේ නිසාම වෙන්දේ­සි­යේදී හිත­ව­තකු යොදවා තමන් පුහුණු කළ බල්ලා කීය­කට හෝ මිලට ගැනී­මට පසු­බට නොවන නිල­ධා­රි­යෝද සිටිති. බල්ලාගේ ලන්සු මුදල ඉහළ යන­විට ඒ සඳහා මුදල ගැන නොසිතා බිට් කර­මින් මෙව­රද නිල­ධා­රීන් සිවු දෙනෙ­කුම තමන්ගේ බල්ලා තමන් ළඟම තියා ගන්නට කට­යුතු කර තිබීම ද ඉතා සංවේදී කරුණකි.

එවන් තත්ත්වයක් යටතේ යළිත් මෙවන් වෙන්දේසි නොපැවැත්වීමට ගත් තීරණය ඉතා මානූෂීය එකකි. රටේ අපරාධ මැඩලීමට උරදුන් මෙම සුනඛයින්ට තම ස්වාමියා සමඟ අවසන් මොහොත දක්වාට එකට ජීවත්වීමට අවස්ථාව සලසාදීම එම සත්වයින් රට වෙනුවෙන් ලබාදුන් අමිල මෙහෙවරට කෘතගුණ සැලකීමක්ද වන්නේය.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS