ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බල වියරුව



ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් රැස්වීම පැවැත්වෙන අතරවාරයේදී එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන පිරිසක් වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ.

කලහකරුවන් විසුරුවා හැරීම සඳාහා ආරක්ෂක අංශ උත්සාහ කළ අවස්ථාවේදී කලහකාරී පිරිස් සහ සන්නද්ධ පොලිසිය අතර ගැටුම් ඇති වූ අතර පොලිසිය කළ වෙඩි තැබීම්වලින් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයට කළු පැල්ලමක් එකතු වූයේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සිදුවීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සලිත වූයේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය දැඩි තර්ජනයකට මුහුණ දුන්නේ යැයි ද එම වාර්තාවල දැක්විණි.

කලහකාරී පිරිස් ඇමෙරිකානු කොංග්‍රස් සාමාජිකයන් රැස්ව සිටි ශාලාවට ද කඩාවැදුණු අතර එම පිරිස් කැපිටල් ගොඩනැගිල්ලේ රාජ්‍ය දේපළවලට හානි කළේ යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ල යනු එරට වැඩිම ආරක්ෂාවක් ලබා දී ඇති ස්ථානවලින් එකක් වන අතර මෙය ඇමෙරිකානු ඉතිහාසයේ දරුණුම ආරක්ෂාව කඩවීම්වලින් එකක් යැයි ද එරට පුවත් සේවා වාර්තා කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්විණි. ඉන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කළ අතර ඔහු ලබන 20 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත ය.මේ කලබගෑනිය ඇති වෙන්නට පෙර කැපිටල් ගොඩනැගිල්ල දෙසට පාගමනේ යන්නැයි ද ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ ආධාකරුවන් උසි ගැන්වීය.

මෙම කලබගෑනියෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති ජෝ බයිඩන් යැයි එරට කොංග්‍රසය අද (7) තහවුරු කළේය.

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය පළ කරන කලහකාරි පිරිසක් වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පැය කිහිපයකට පසු කොංග්‍රසය ඒ බව නිවේදනය කළේය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කිරීමේ අරමුණින් ට්‍රම්ප්ට හිතවත් කලහකාරී පිරිසක් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ ය. එය කොංග්‍රස් සාමාජිකයන්ගේ දැඩි විරෝධයට හේතු විය.

ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය හදවත බඳු කැපිටල් ගොඩනැගිල්ලේත් ඒ අවටත් ඇති වූ මහ කලබගෑනිය සහ ප්‍රචණ්ඩත්වය එරට ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ කලබගෑනියෙන් පැය කිහිපයකට පසු කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෝ සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ සාමාජිකයෝ නැවත කැපිටල් ගොඩනැගිල්ලට පැමිණියහ.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණ (මැතිවරණ සමූහ/ඉලෙක්ටෝරල් කොලේජස්) ගණනය කෙරෙමින් තිබියදී කලහකාරී පිරිස් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ. කලහකාරී පිරිස් කොංග්‍රසයේ විවාද පැවැත්වෙන ශාලාවලට ද කඩාවැදුණාහ.

කෙසේ නමුත් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක බළකාය ඇතුළු ආරක්ෂක අංශ පැමිණ කලහකාරී පිරිස් ඉවත් කළ අතර ඉන් පසු කොංග්‍රස් සාමාජිකයෝ නැවත කැපිටල් ගොඩනැගිල්ලට පැමිණියහ. ඉන් අනතුරුව ඡන්ද ගණ ගණනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ විය. ඒ සඳහා පැය හතරකට ආසන්න කාලයක් ගත වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම සිදුවීම් මධ්‍යයේ ඇතැම් කොංග්‍රස් සාමාජිකයන් කඳුළු ගෑස් යනාදියෙන් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ පැලඳ සිටින අයුරුත් ඇතැම් අය මේස ආදිය යට සැඟවෙන අයුරුත් දක්නට ලැබිණි.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ට්‍රම්ප් බලයේ තබාගැනීම මෙම කලහකාරී පිරිසේ අරමුණ වූයේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.

කලහයෙන් පසු නැවත රැස්වුණු කොංග්‍රස් සාමාජිකයෝ ඊයේ (6) රාත්‍රියේදී කතා පැවැත්වූ අතර ඔවුහු බොහෝදෙනෙක් ජනාධිපති ට්‍රම්ප්ට චෝදනා කළහ.

ඇමෙරිකානු ජනතාව තුළ ඇති වී තිබෙන දරුණු බෙදීම විශේෂයෙන්ම ට්‍රම්ප් සමාජය තුළ ඇති කරන ලද බෙදීම මෙම ඛේදජනක සිදුවීම් මාලාවට හේතුවක් වූයේ යැයි ද ඔවුහු කීහ.

‘‘කොංග්‍රසයට බාධා කරන්න අසාර්ථක උත්සහායක් ගත්තා. එය අසාර්ථක කැරැල්ලක්. එයින් වුණේ අපේ ජනරජය ඉදිරියේ තිබෙන කාර්යයේ වැදගත්කම පහළ හෙළීම පමණක්’’ යැයි සෙනට් සභාවේ බහුතරයේ නායක මිච් මැකොනෙල් කීය.

‘‘මැරයන්ගෙන්, චණ්ඩීන්ගෙන් සහ තර්ජනවලින් කොංග්‍රස් සාමාජිකයන් බිය ගන්වන්න බැහැ’’ යැයි ද හෙතෙම අවධාරණය කළේය.

මේ අතර ජෝ බයිඩන් ට නියමිත පරිදි බලය පවරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (7) ප්‍රකාශ කළේය.

ඒ අනුව තවත් සති දෙකක් ඇතුළත ජෝ බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස එම ධුරයේ දිවුරුම් දෙනු ඇත.

ඉකුත් වසරේ නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කළේය.

‘‘මැතිවරණයේ ප්‍රතිඵලය සමඟ මම කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. තියෙන කරුණු එහෙමයි. කොහොම නමුත් ජනවාරි 20 වැනිදා නියමිත පරිදි බලය පවරනවා’’ යැයි ජනාධිපති ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ධවල මන්දිර ප්‍රකාශක ඩෑන් ස්කැවීනෝ ජනාධිපති ට්‍රම්ප්ගේ නිවේදනය ට්විටර් සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

ඒ.එෆ්.පී./රොයිටර්ස්


RECOMMEND POSTS