ගිනිගෙන දැවුණු නොත්‍රදාම් දෙව්මැදුර



ප්‍රංශ ගත් කතුවරයතකු වන වික්ටර් හියුගෝ අතින් ලියැවුණු සදාඅමරණීය නවකතාව ‘හන්ච් බැක් ඔෆ් නොත්‍රදාම්’ ය. ‘කුදාගේ ආලය’, ‘නොත්‍රදාමයේ කුදා’ ආදී නම්වලින් සිංහලයට පරිවර්තනය වූ මෙම නවකතාවට පාදක වන්නේ පැරිස් අගනුවර පිහිටි ‘නොත්‍රදාම්’ දෙව්මැදුරය. වසර 850 ක් පැරැණි, ලෝ සුපතල නොත්‍රදාම් දෙව්මැදුර ඊයේ (15) ගින්නකින් වැනැසිණි.

නොත්‍රදාම් (මෙහි අර්ථය අපේ ආර්යාව යන්නය. පැරිසියේ ආර්යාව යන නමින් ද මෙම දෙව්මැදුර හැඳින්වෙයි.) දෙව්මැදුරේ ඉදිකිරීම් ආරම්භ වූ බව පැවැසෙන්නේ 1163 වසරේය. නොත්‍රදාම් දෙව්මැදුර ප්‍රංශ ඉතිහාසයේ කැපී පෙනෙන, වාස්තු විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් ඉදිකිරීමකි.

19 වැනි සිවයසේ ප්‍රංශ පාලකයන් නොත්‍රදාම් දෙව්මැදුරේ වටිනාකම දැක්කේ නැත. එය වැඩකට නැති නිර්මාණයක් බව පවසමින්, ඔවුන් පෙන්වා දෙන්න වූයේ දෙව්මැදුර කඩා ඊට යොදා ගත් ගඩොල්වලින් පාලමක් ඉදි කළොත් එය ජනතාවට වඩා යහපතක් බවය.

එම යෝජනාවට පැරිස් නුවර වැසියන්ගෙන් විරෝධයක් එල්ල වන්න විය.

දෙව්මැදුරේ ඇති විශේෂත්වය සහ එහි ඇති වැදගත් බව ප්‍රංශ බලධාරීන්ට පමණක් නොව, මුළුමහත් ලෝකයාටම පෙන්වන්න අවශ්‍ය විය. ඒ වෙනුවෙන් ඔවුහු එවකට ප්‍රංශයේ මහා ලේඛක වික්ටර් හියුගෝගේ සහාය පැතූහ.

දෙව්මැදුර වික්ටර් හියුගේ අවධානයට ලක් විය. හියුගෝ දෙව්මැදුරේ සෑම අස්සකටම මුල්ලකටම ඇවිද ගියේය. එහි ප්‍රතිඵලය වූයේ 1828 වසරේ වික්ටර් හියුගෝ අතින් ‘හන්ච් බැක් ඔෆ් නොත්‍රදාම්’ රචනා වීමය.

‘නොත්‍රදාමයේ කුදා’, ‘කුදාගේ ආලය’ ආදී වශයෙන් ප්‍රසිද්ධියට පත් වුණු ඒ විශිෂ්ඨ නවකතාව ගෙතෙන්නේ නොත්‍රදාම් දෙව්මැදුර පාදක කර ගනිමිනි. වේදිකා නාට්‍ය, රූපවාහිනී මාලා නාට්‍ය පමණක් නොව, ඩිස්නි කාටූන් චිත්‍රපටයක් ද නිර්මාණය වී ඇත.

නොත්‍රදාමයේ කුදා නවකතාව පාදක කරගනිමින් නිර්මාණය වී ඇති සිනමාපට ගණන 21 කි. ටෙලි නිර්මාණ ගණන 72 කි.

අයිෆල් කුලුන, ලූව්ර කෞකාගාරය සේම, ඊටත් වඩා පැරැණි ප්‍රංශ වැසියන්ගේ වාස්තු විද්‍යාවේ මහිමය ලොවට පෙන්වා දෙන ඓතිහාසික දෙව්මැදුරක් ලෙස නොත්‍රදාම් දෙව්මැදුර ලොව ප්‍රධාන පෙළේ සංචාරක ආකර්ශණයකි. 

නොත්‍රදාම් දෙව්මැදුර යුනෙස්කෝ ලෝක උරුමයකි.

දෙව් මැදුරේ ගින්න හටගත්තේ ඊයේ (15) ප්‍රංශයේ වේලාවෙන් 6.30 ට පමණය.

දැවයෙන් නිර්මාණය කළ දෙව්මැදුරේ වහළය තෙක් ගින්න වේගයෙන් පැතිර යන්න වූ අතර ඒ සමඟම වර්ණ ගැන්වූ වීදුරු දැමූ ජනේල විනාශ විය.

ගිනි නිවන භටයන් වහා ගින්න නිවා දැමීමට පැමිණිය ද එය ඉතා වේගයෙන් පැතිර යන්න විය.

ගින්න නිවා දැමීමට පමණක් නොව, දෙව්මැදුරේ සිතුවම්, මූර්ති නිර්මාණ ආදිය ගින්නෙන් බේරා ගැනීමට ද ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ගින්න නිවා දැමීමට පැමිණි ගිනි නිවන භටයන් ගණන 500 ක් යැයි ද පැවැසෙයි.  ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට හැකිවුණු අතර දෙව්මැදුරේ ප්‍රධාන ව්‍යුහය සහ ඝණ්ටාර කුලුනු දෙක ඉතිරි වී තිබුණැයි වාර්තා වේ.

ප්‍රධාන ශාලාවේ ගෝලාකාර වහලය ගින්නෙන් හානි සිදුවී කඩා වැටුණි. ප්‍රංශ පුවත් සේවා වාර්තා කළේ දෙව්මැදුරට ගින්නෙන් දරුණු ලෙස හානි සිදුවී ඇති බවය. ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS