කාන්තාරයෙන් මතුවුණු අබිරහස



ඇමෙරිකාවේ යූටා ජනපදයේ යූටා නිම්නය කර්කශ, වියලි කාන්තාර ප්‍රදේශයකි. කාන්තාර ප්‍රදේශයක් යැයි කීවත්, මෙය වැලි පිරුණු කාන්තාර ප්‍රදේශයක් නම් නොවෙයි. යූටා කාන්තාර ප්‍රදේශය රතු හුණුගල්වලින් පිරුණු කදු ගැටවලින් ද සමන්විත වන අතර, රතු හුණුගල් කැණියමක් ද පිහිටා තිබේ. මිහිපිට අපූරු මෙන්ම සුන්දරම භූ පිහිටීමක් ලෙස මෙම කැනියම සැලකෙයි.

පළාතේ වැසියන් අතරේ, බ්‍රෙට් හචිංග්ස් ප්‍රකටව සිටින්නේ, හෙලිකොප්ටර් නියමුවකු ලෙසය. හචිංග්ස් සිය හෙලිකොප්ටරය කුලියට දෙයි. ඒ, යූටා නිම්නය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහාය. ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලයේ නිලධාරීන් සහ වන ජීවී නිලධාරීන් ද නිම්නයට ඉහළින් සෝදිසි මෙහෙයුම් සිදු කරන්නේ නම්, හචිංග්ස්ගේ සහාය ලබා ගනී.

පසුගිය නොවැම්බර් 18 වැනිදා හචිංග්ස්ගේ හෙලිකොප්ටරයට ගොඩවූයේ වන ජීවී නිලධාරීන් දෙදෙනෙකි. කර්කශ වුවත් කාන්තාර නිම්නයේ තැන තැන කටු පදුරු සහ ගස් ද වන සතුන් ද දකින්න ලැබේ. එදා වන ජීවී නිලධාරීන් දෙදෙනා චිංග්ස්ගේ සේවය ලබා ගත්තේ යූටා නිම්නයට ආවේණික විශාල අං තට්ටුවක් ඇති ‘බිග්හෝන් බැටලුවන්’ නිරීක්ෂණය කරමින් උන් සංගණනය කිරීමටය.

නිම්නයට ඉහළින් පියාසර කරද්දී, එක් නිලධාරියකු මහ හයියෙන් මොර දෙන්න පටන් ගත්තේ ‘අන්න පහළ මොකක්ද තියෙනවා. අමුතු දෙයක්. ආපසු හැරිලා ගිහින් බලමු.’ යනුවෙනි. ඒ අනුව, පහළ ඇත්තේ කුමක්දැයි බැලීමට, හෙලිකොප්ටරය ආපසු හැරවිණි. ඉහළ සිට බලද්දී, එය කිසියම් ආකාරයක ලෝහමය ස්ථම්භයක් වැන්නකි. පතිත වූ හිරු රැස් පරාවර්තනය වන්න විය. එය අබිරහස් වස්තුවක් විය.

ඊට පසු දිනයේ ඒ, අබිරහස් වස්තුව කුමක්දැයි සොයා බැලීමට විශේෂ විමර්ශනයක් සිදුවිය. ඒ, වන ජීවී නිලධාරීන්ගේත් යූටා ෂෙරිෆ් කාර්යාලයේත් මූලිකත්වයෙනි. මාධ්‍ය කණ්ඩායමක් ද අබිරහස් වස්තුව බැලීමට ගියේය. වස්තුව දකින්න ලැබුණේ නිම්නයේ හුදෙකලා ස්ථානයකිනි. බැලූ බැල්මට මිනිස් පා සලකුණු හෝ සතුන්ගේ පා සලකුණු හෝ එහි නොවූ අතර ගුප්ත ස්වභාවයක් පෙන්නුම් කළේය. අද්භූත වස්තුවට සමීප වෙද්දී එය එය කිසියම් ආකාරයක ස්ථම්භයක් හෝ ඵලකයක් බව පෙණුනි. උස මීටර් 2.9 ක් විය.

එය අහසේ සිට බිමට පතිත වූ බවක් පෙනෙන්න තිබුණේ නැත. පොළොවෙන් මතුවූවක් ද නොවිණි. එය එම ස්ථානයේ පතුල් ගල් තලය මතට හොඳින් සවි වී තිබුණි. අද්භූත වස්තුව තැන්හුලස් එකක් වූ අතර ප්‍රිස්මයක් වැනි හැඩයක් ඊට තිබුණි. ඇණවලින් තහඩු එකට සම්බන්ධ කරන ලද්දකි. එය සුදු යකඩවලින් හෝ ඇලුමිනියම්වලින් හෝ නිර්මාණය කළ එකක් බව බැලූ බැල්මට පෙණුනි. එමෙන්ම එහි කිසිදු චුම්බක බලයක් ද තිබුණේ නැත.

මෙම අබිරහස් වස්තුව දකිද්දී, සිහියට නැගුණේ එක දෙයකි. ඒ, ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් රචිත 2001 අභ්‍යවකාශ වීර චාරිකාව නමැති විද්‍යා ප්‍රබන්ධය සහ එය පාදක කර ගනිමින් නිර්මාණය කළ 1968 දී තිරගත වුණු ස්ටෑන්ලි කුබ්රික්ගේ සම්මානනීය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයයි. පෘථිවියට පතිත මෙවැනි හැඩයකින් යුත් කළු පැහැති අද්භූත වස්තුවක් ගැන 2001 අභ්‍යවකාශ වීර චාරිකාව ආරම්භයේ දී කියැවෙයි.

නොදියුණු ආදී මානවයා, පරිවර්තනයකට ලක් කිරීමට මෙම පිටසක්වළ වස්තුව සමත් වෙයි. ඒ අනුව, යූටා නිම්නයේ අද්භූත වස්තුව සම්බන්ධයෙන් මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍යවලින් විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. ඒ, ඊට පිටසක්වළ ජීවීන් ද සම්බන්ධ කරමිණි.

කෙසේ නමුත්, අද්භූත වස්තුව විද්‍යාඥයන්ගේ පරීක්ෂණවලට ලක්වීමට පෙර පසුගිය 29 වැනිදා එය කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදන් විය. ඒ වනවිට සිදු කර තිබුණු මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ, අද්භූත වස්තුව 2016 වසරේ සිට හෝ 2017 වසරේ සිට එම ස්ථානයේ තිබුණු බවය. කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ අවධානය දිනා ගැනීමේ අරමුණින්, කාන්තාර ප්‍රදේශයේ එය සවි කරන්න ඇති බව යූටා බලධාරීන්ගේ අදහස වී තිබේ.

නිව්යෝක් ටයිම්ස් ඇසුරිනි


RECOMMEND POSTS