කඩා වැටුණු යානයේ දෝෂයක්



ඉතියෝපියා මගී ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් සේවා අධිකාරියේ පරීක්ෂණ කණ්ඩායමක් ද ගොස් සිටින අතර, සිදුකළ පරීක්ෂණවලින් පසු ඔවුන් කියා සිටියේ, යානය කඩා වැටුණේ එහි දෝෂයක් නිසා බවය.

ඉතියෝපියා ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් ද ෆෙඩරල් ගුවන් සේවා අධිකාරියේ පරීක්ෂණ කණ්ඩායමට සහාය ලබා දුන් බව ද පැවැසෙයි.

කඩා වැටුණු යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය පසුගිය 11 වැනිදා හමුවුණු අතර, එහි තොරතුරු ද ෆෙඩරල් ගුවන් සේවා අධිකාරියේ පරීක්ෂණ කණ්ඩායමේ අවධානයට ලක් විය.

‘පරීක්ෂණවලින් පැහැදිලි වුණා ඉතියෝපියා ගුවන් යානය අනතුරට ලක්වුණේ ගුවන් යානයේ දෝෂයකින් බව. මෙම ඉතියෝපියා ගුවන් යානයට සිදුවූයේ, පසුගිය වසරේ කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයට සිදුවුණු ඇබැද්දියමයි. පරීක්ෂණ කටයුතුවලට සම්බන්ධ සියලු පාර්ශ්ව ඒකමතිකව තීරණය කළා ඉතියෝපියා යානයත්, ලයන් එයාර් යානයත් කඩා වැටුණේ යානයේ දෝෂයක් නිසා බව’ යැයි ද ෆෙඩරල් ගුවන් සේවා අධිකාරියේ ඩෑන් එල්වෙල් පැවැසීය.

පසුගිය 10 වැනිදා කඩා වැටුණේ ඉතියෝපියා ගුවන් සේවයට අයත් මගී යානය ඇමෙරිකන් බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමේ බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ එකකි. යානය කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි 157 දෙනාම ජීවිතක්ෂයට පත් විය.

බෝයිං 737 මැක්ස් ගුවන් යානාවල දෝෂයක් ඇති බව ෆෙඩරල් ගුවන් සේවා අධිකාරියේ පරීක්ෂකයන් විසින් අනාවරණය කරනු ලැබීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, ඉතියෝපියාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව ආදී රටවල් අනුගමනය කරමින්, තමන් ඇමෙරිකාවේ බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා භාවිතය නැවැත්වීමට පියවර ගන්නා බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS