මහරැජින ඉරිදා ජාතිය අමතයි



බ්‍රිතාන්‍ය මහ රැජන ඉරිදා (05)  රාත්‍රී 7.00ට ජාතිය ඇමතීමට නියමිත බව බකිංහැම් මාලිගය නිල වශයෙන් නිවේදනය කර ඇත.

මේ වනවිට 93 හැවිරිදි වියේ පසුවන දෙවැනි එලිසබෙත් මහ රැජින නත්තල් දිනයේ දී නිකුත් කරනු ලබන සාම්ප්‍රදායික පණිවිඩය හැර සිය වසර 68ක පාලන කාලයේ දී ජාතිය අමතන සිව්වැනි අවස්ථාව මෙයයි.

මීට පෙර ඇය ජාතිය අමතා ඇත්තේ 1991 දී පළමු ගල්ෆ් යුද්දය සම්බන්ධයෙන්, 1997 දී ඩයනා කුමරියගේ අවමංගල්‍ය අවස්ථාවේ දී, 2002 දී මව් රැජිනගේ අභාවයෙන් පසු යන අවස්ථා තුනේ දී පමණි. එසේ වුව ද 2012 වර්ෂයේ දී ඇය තම කිරුළු පැළඳීමේ දියමන්ති ජුබිලිය සමරන අවස්ථාවේ දී රූපවාහිනී දේශනයක් පැවැත්වූවාය. නමුත් එය ජාතිය ඇමතීමක් ලෙස සළකන්නේ නැත.

බකිංහැම් මාලිගයේ සේවකයකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මහ රැජින සිය නිල රාජකාරී අතහැර එඩින්බරෝ ආදිපාදවරයා සමග බර්ක්ෂයර්හි වින්ඩ්සර් මාලිගයේ සිටින්නීය. මාර්තු මැද සිට ඇය පූර්ව ආරක්ෂාවක් ලෙස වින්ඩ්සර් මාළිගයේ නැවතී සිටියි.

ඇයගේ විශේෂ කතාව වින්ඩ්සර් මාළිගයේ දී පටිගත කර රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය. මෙහි දී කොවිඩ් - 19 වයිරසයේ පැතිරීම සම්බන්ධයෙන් රැජින විශේෂ ප්‍රකාශයක් කරන බව ද බකිංහැම් මාළිගයේ ප්‍රකාශකයකු පවසා ඇත.

පසුගිය පැය 24 දී වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 684කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,605කි. තහවුරු කරගත් කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 38,168ක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ස්කොට්ලන්තයේ මරණ සංඛ්‍යාව 46කින් ඉහළ ගොස් ඇති අතර වේල්සයේ මරණ 24ක් අලුතින් වාර්තා වී ඇත.

බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව 144ක වූ අවස්ථාවේ දී මහ රැජින විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර එමගින් ඇය කියා සිටියේ බ්‍රිතාන්‍යය දැඩි අවිනිශ්චිත කාල සීමාවකට අවතීර්ණ වෙමින් සිටින බවයි. එම නිවේදනයේ දී ඇය වෛද්‍යවරුන්ට, විද්‍යාඥයන්ට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ හදිසි සේවා සපයන්නන්ට ප්‍රශංසා කළ අතර සෑම පුද්ගලයකුගේ ම කාර්ය භාරය ඉතා වැදගත් බව ද අවාධාරණය කර තිබිණි.


RECOMMEND POSTS