චීනය නිහඬතාවෙන් සොව පළකරයි



කොරෝනා වයිරස රෝගයට ගොදුරු වූවන්ට ශෝකය පල කිරීම සඳහා චීනය අද(04) විනාඩි තුනක නිශ්ශබ්දතාවයක් පවත්වා ඇත.

එරට වේලාවෙන් උදෑසන 10.00ට රට පුරා සියලු ජනතාව නිශ්ශබ්දව සිටිමින් රෝගයෙන් මියගිය අයට උපහාර දැක්වූහ.

මෝටර් රථ, දුම්රිය හා නැව් ඔවුන්ගේ නලා ශබ්ද කළ අතර ගුවන් යානා සයිරන් නාද කළහ. කොඩි අඩකුඹු කර තිබිණි.

චීනයේ, වයිරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය වූ වුහාන් හි, නාගරික ප්‍රදේශවල සියලුම මාර්ග සංඥා විදුලි පහන් උදෑසන 10:00 ට රතු පැහැයෙන් දිස්වූ අතර මිනිත්තු තුනකට සියලුම ගමනාගමන කටයුතු නතර විය.

චීන ජනාධිපති ෂී ජින් පිං සහ අනෙකුත් රජයේ නිලධාරීන් ද බීජිං නුවර සිට නිශ්ශබ්දතාවයේ යෙදෙමින් උපහාරයට එක්වූහ.

කොවිඩ් - 19 රෝගයෙන් චීනයේ මියගිය 3 300කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද චීනයේ ශෝක දිනයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගිය 2019 වසරේ අගභාගයේදී චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයේ දී කොරෝනා වයිරස් රෝගය ආසාදනය වූ පළමු රෝගීන් අනාවරණය විය.
එතැන් සිට, වයිරසය ලොව පුරා පැතිරුණු අතර, මේ වනවිට මිලියනයකට අධික පිරිසකට ආසාදනය වී රටවල් 181 ක 60,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත.
මෙම සැමරුම් උත්සවය, වෛරසය සමඟ පොරබදමින් මියගිය චීන වෛද්‍යවරුන් 14 දෙනාට ගෞරව දැක්වීමේ අවස්ථාවක් ද වන බව චීනයේ රජය පැවසීය.
රෝගය පිළිබඳව ලෝකයට අනතුරු ඇඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් චීන බලධාරීන්ගේ තරවටු කිරීමට ලක්වූ, කොවිඩ් -19 රෝගයෙන් මියගිය වුහාන් හි වෛද්‍යවරයකු වන ලී වෙන්ලියන්ග් ද ඊට ඇතුළත් ය.
"අපේ සගයන් සහ මියගිය රෝගීන් ගැන මට බොහෝ දුකක් දැනෙනවා. ඔවුන්ට ස්වර්ගයේ හොඳින් විවේක ගත හැකි යැයි මම බලාපොරොත්තු වෙමි." යැයි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ චීන හෙදියක් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය. 

නොදන්නා හේතූන් මත නියුමෝනියා තත්ත්වයක් දකුවා වර්ධනව වන රෝගයක් පිළිබඳව චීනය ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) දැනුම් දුන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා ය.
ජනවාරි 18 වන විට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 60 ක් දක්වා ඉහළ ගිය නමුත් විශේෂඥයන් පවසන්නේ ඒ වනවිට සැබෑ රෝගීන් සංඛ්‍යාව 1,700 ට ආසන්න වන්නට ඇති බවයි.
දින දෙකකට පසුව, චිනයේ මිලියන සංඛ්‍යාත ජනයා  නව චන්ද්‍ර වසර සඳහා සංචාරය කිරීමට සූදානම් වෙද්දී, රෝගීන් 200 කට වඩා වැඩි වූ අතර බීජිං, ෂැංහයි සහ ෂෙන්ෂෙන් යන ප්‍රදේශවලින් ද වයිරස ආසාදිතයන් අනාවරණය විය.

එතැන් සිට වෛරසය ආසියාවේ සහ පසුව යුරෝපයේ වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් අතර අවසානයේ එය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්ත විය.

සටහන - සිරංගිකා ලොකුකරවිට


RECOMMEND POSTS