ඇමෙරිකාව අගනුවර ආරක්ෂාව තරකරයි.



ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ හිරිහැරකීරීම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දක්වමින් ඇමෙරිකාවේ නගරපුරා විරෝධතා පැවැත්වෙයි.

එම විරෝධතා මේ වනවිට වොෂින්ටන් අගනුවරටත් පැතිර ගොස් තිබෙන අතර ධවල මන්දිරය ආසන්නයේ ද විරෝධතා ආරම්භවී ඇත. සියගණනකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් සෙනසුරාදා (30) ධවල මන්දිරය වටකළ අතර විරෝධතා පවත්වමින් ‘‘නැෂනල් මෝල්’’ පෙදෙස වෙත ඇවිද ගියහ. 

‘‘කළු ජාතිකයන්ගේ ජීවිතවලටත් වටිනාකමක් තියෙනවා, මට හුස්ම ගන්න බැහැ, කිසිම සාධාරණත්වයක් නැහැ, සාමය අහිමි වෙලා’’ යනුවෙන් විරෝධතාකරුවෝ සටන් පාඨ කීහ. එම විරෝධතා ඉතා සාමකාමීව පැවැත්විණි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ ද විරෝධතාකරුවෝ විසිර නොගියහ. විරෝධතාකරුවෝ ඔවුන් නැවැත්වීමට යොදා තිබූ බාධක ඉවතට දැමූ අතර කොන්ක්‍රීට් කුට්ටි ද කඩා බැඳ දැමූහ. එක් අවස්ථාවකදී විරෝධතාකරුවෝ කුණු කසළ බඳුනකට ගිනි තැබූහ.

තත්ත්වය පාලනය කිරීමටත් ධවල මන්දිරයේ ආරක්ෂාවටත් ජාතික ආරක්ෂක බළකාය යෙදවීමටත් ඇමෙරිකානු බලධාරීහු සෙනසුරාදා, ඊයේ (30) රාත්‍රියේ පියවර ගත්හ.


RECOMMEND POSTS