වැරදි වාර්තාව රෝහලින් අස්ථානගත කළා යැයි මානව හිමිකම් පැමිණිල්ලක්



කුරුණෑගල රෝහලේ තිබූ වෛද්‍යවාර්තාවක් අයථා ලෙස අස්ථානගත කර ඇති බව පවසමින් කාන්තාවක් අද (24) පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට එරෙහිව මානව හිමිකම් කොමිසට පැමිණිල්ලක් කළාය.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ එස්.එම්.ටී පියතිස්ස නමැති මත්මියකි.

ඇගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ අලකොළදෙණියේ පදිංචි වකුගඩු රෝගයකින් පෙලෙන තම පියාගේ සිරුරේ ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් එම රසායානගාරයෙන් වාර්තාවක් ලබාගත් බවයි. පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ලබාගත් මෙම වාර්තාවේ දක්වා තිබූ පොටෑසියම් අගය අනුව තම පියා මාරාන්තික අවස්ථාවකට පැමිණ ඇති බැවින් වහාම රෝහල්ගත කරන්න යැයි විශේෂඥ වෛද්‍ය රජීව දසනායක මහතා උපදෙස් දුන්නේ යැයි ද හැකි ඉක්මණින් කුරුණෑගල රෝහලට ඇතුළත් කළ පියාට වෛද්‍යවරුන් පොටෑසියම් කඩිනමින් ලබාදුන් බවත් ඇය පෙන්වාදෙයි. එලෙස පොටෑසියම් ලබාදිමෙන් පසු පියාගේ රුධිරයේ පොටෑසියම් අගය අධි අවදානම් තත්ත්වයට පැමිණ තිබූ බව ද ඇගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එයින් පසුව කුරුණෑගල රෝහලේ නිලධාරින් අදාළ පෞද්ගලික රසායනාගාරයට කතා කොට එම වාර්තාව සදොස් බව දැන්වී යැයි ද එතැන් සිට පෞද්ගලික රසායනාගාරයේ සේවකයන් තමාට කතා කර එම වාර්තාව ඉල්ලා බලපෑම් කළේ යැයි ද ඇය පැමිණිලි කර ඇත.
අයථා ක‍්‍රමයකින් එම වාර්තාව අස්ථානගත කරනු ඇතැයි යන සැකය නිසා එයින් පසු තමා අදාළ වාර්තාවේ ඡායාරූපයක් ගත් නමුත් එදින සවස් වරුවේ පරීක්ෂා කරද්දී පියාගේ වෛද්‍ය වාර්තා ගොනුවෙන් එය අස්ථානගත වී ඒ වෙනුවට දත්ත වෙනස් කළ ව්‍යාජ වාර්තාවක් ඊට එක්කර තිබුණේ යැයි පවසන ඇය ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව පැමිණිලි කළේ යැයි ද සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල රෝහල් පරිපාලනයෙන් සාධාරණයක් සිදු නොවන බැවින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නේ යැයි ද සිදුවීමෙන් දැඩි  මානසික කම්පනයට පත්ව සිටින සිය පවුලට සාධාරණය ඉටුකර දෙන්නැයි ද එස්.එම්.ටී පියතිස්ස මහත්මිය එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 


RECOMMEND POSTS