මෝදි පිළිගන්න ඇමෙරිකාවේ ජන රැලියක්



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවීමට ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් විශේෂ ජන රැලියක් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර එන්.ආර්.ජී. ක්‍රීඩාංගනයේ පැවැත්විණි.

මෙම රැලිය සංවිධානය කරනු ලැබ තිබුණේ ඇමෙරිකාවේ රැකියා කරන සහ පුරවැසිභාවය ලැබූ හින්දු ජාතිකවාදී මෝදි පාක්ෂික ඉන්දියානුවන් විසිනි. විදෙස් නායකයකු වෙනුවෙන් ඇමෙරිකාවේ මේ අයුරින් දැවැන්ත රැලියක් පැවැත්වීම සුවිශේෂී සිදුවීමක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. රැලියට ඇමෙරිකාවේ සිටින ඉන්දියානුවෝ 50,000 ක් එක් වූහ.

ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර පැවැත්වුණු රැලිය නම් කෙරුණේ ‘හවුඩි මෝදි’ යනුවෙනි. ටෙක්සාස් ලොව ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ඇමෙරිකන් ගොපල්ලන් (කව්බෝයි) නිසාය. කව්බෝයි බසින්, ‘හවුඩි’ යනු ‘කොහොමද සුවදුක්’ යන අර්ථය ඇතිව කෙනකු සුහඳව පිළිගන්නා කෙටි වදනයි. රැලිය ‘හවුඩි මෝදි’ යනුවෙන් නම් කෙරුණේ එහෙයිනි. මෝදි රැලියට එක් වී රැස්ව සිටි සැම ආමන්ත්‍රණය කළේ ද ‘හවුඩි’ යැයි පවසමිනි.
‘හවුඩි මෝදි’ රැලියේ අරමුණ, ඇමෙරිකාව සහ ඉන්දියාව අතර යහපත් සබඳතා වර්ධනය කිරීමය.

මෝදි වෙනුවෙන් පැවැති සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ට්‍රම්ප්ගෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. දෙදෙනා ජනතාව අතරට ගියේ අත්වැල් අල්ලා ගනිමින්, ඔල්වරසන් මැදය. මෙම රැලිය ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට ද සුවිශේෂී එකකි. ඒ, ලබන වසරේ පැවැත්වෙන ජනපතිවරණයේ දී ඇමෙරිකාවේ පුරවැසිභාවය ලැබූ ඉන්දියානුවන්ගේ ඡන්ද ලබා ගැනීමට ට්‍රම්ප් බලාපොරොත්තු වන බැවිනි.

ඇමෙරිකාවේ ඉන්දියානුවන් පමණක් නොව, ඇමෙරිකානුවන්, ඇමෙරිකන් මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයන් ආදී බොහෝ දෙනෙක් රැලියට සහභාගී වී සිටියහ. ඉන්දීය සංස්කෘතික අංග රැසකින් රැලිය වර්ණවත් විය. ඉන්දියාව ඇමෙරිකාවේ සැබෑ මිතුරකු බවත්, මෝදි තමන්ගේ සමීපතම මිතුරකු බවත් රැලිය අවසන් වෙද්දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය. ඉන්දියාවට පැනැවූ තීරු බදු ලිහිල් කිරීමට කෙරෙහි ද ජනාධිපති ට්‍රම්ප්ගේ අවධානය යොමු විය.

හූස්ටන්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS