මරියානා අගාධයට ගිය තෙවැනි වික්‍රමය



ඇමෙරිකාව් ටෙක්සාස් හි පදිංචි වික්ටර් වෙස්කෝවෝ ජාතික ගවේෂකයෙකි. හිටපු නාවික හමුදා නිලධාරියෙකි. පසුගිය දා විකටර් ලොව ගැඹුරුම ස්ථානය හෙවත්, මරියානා අගාධය පතුලට කිමිදුණේය. ඒ කුඩා කුමුදුව (සබ්මැරීනයක) ආධාරයෙනි.

මරියානා අගාධ පතුලට ගවේෂණයක් සිදුවුණු තෙවැනි අවස්ථාව මෙය විය. වික්ටර් වෙස්කෝවෝගේ මෙම වික්‍රමය ඉතිහාසයට එක් විය. එපමණක් නොව, මීටර් 10,927 ක් පතුලට යද්දී, වික්ටර්ට ප්ලාස්ටික් කසළ දකින්න ලැබුණි. වික්ටර්ගේ වික්‍රමය සේම, මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන් සාගරය දූෂණය වී ඇති ආකාරය කෙරෙහි ද ලොව කාගේත් අවධානය යොමු විය.මරියානා අගාධය පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ මරියානා දූපත්වලට නුදුරිනි.

මරියානා අගාධයට පළමුවෙන්ම ගවේෂණයක් සිදුවූයේ 1960 වසරේදීය. එම වික්‍රමය සිදු කළේ ඇමෙරිකන් නාවික හමුදා ලුතිනන් ඩොන් වොල්ෂ් සහ ස්විට්සර්ලන්ත ඉංජිනේරු යාක්ස් පිකාඩ් යන දෙදෙනාය. ඒ තාක්ෂණයේ මහා දියුණුවක් නැති අවදියකය. ඔවුන් අගාධ පතුළට ගියේ ‘ත්‍රිස්ත්’ නමැති කුමුදුවකිනි. මරියානා අගාධයට ගිය දෙවැනි වික්‍රමය 2012 දී සිදුවිය. එම වික්‍රමයට සම්බන්ධ වූයේ ඇමෙරිකන් සිනමාකරු ජේම්ස් කැමරන්ය. කැමරන්ගේ වික්‍රමය සාර්ථක වූවා පමණක් නොවෙයි, එම වික්‍රමය ඇසුරින් කැමරන් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටය ද අතිශය ජනප්‍රිය විය.

වික්ටර් වෙස්කෝවෝ අගාධ පතුළට ගියේ, ඇමෙරිකාවේ ට්‍රයිටන් සමාගම නිපදවූ කුඩා කුමුදුවකිනි. මෙය මීටර් 4.6 ක් දිගය. මීටර් 3.7 ක් උසය. වෙස්කෝවෝ මෙම කුමුදුවෙන් අගාධ පතුලට යද්දී තවත් රොබෝ කුමුදු දෙකක් ද මෙම එය සමඟ පහළට කිමිදී ඇත.

වෙස්කෝවෝ මීටර් 10,927 ක් ගැඹුරට ගියේ නව වාර්තාවක් පිහිටුවමිනි. වෙස්කෝවෝ ගමන් කළ කුමුදුව නිර්මාණය කර ඇත්තේ සෙන්ටි මීටර් 9 ක් ඝනකම් ටයිටේනියම් ආවරණයකිනි. ඒ, ගැඹුරට යද්දී අධික පීඩනයට ඔරොත්තු දීමට හැකි අයුරිනි. මෙම කුමුදුවේ තිනි අයකුට හෝ දෙදෙනකුට පහසුවෙන් යාමට ඉඩ ඇත. පහළ පීඩනය කොතරම් ද කීවොත් එය ජම්බෝ ජෙට් වර්ගයේ මගී ගුවන් යානා 50 ක් එක් පුද්ගලයකුගේ සිරුර මත ගොඩ ගසා තිබීම වැනි යැයි පැවැසෙයි.

වෙස්කෝවෝගේ මෙම වික්‍රමයට ඩිස්කවරි නාළිකාව ද එක් විය. ඩිස්කවරි නාළිකාව වෙනුවෙන් වික්‍රමය රූගත කිරීම සිදුකළේ ඇට්ලැන්ටික් ප්‍රඩක්ෂන් නමැති රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන සමාගමයි. වෙස්කෝවෝ ​මරියානා අගාධය පතුලට ගමන් කළේ ලොව ප්‍රධාන පෙළේ අගාධ පතුලට යෑමේ ගවේෂණ මාලාවේ එක් අදියරක් යටතේය. පසුගිය මාස 6 පුරාවට සෙසු ගවේෂණ සිදුවිය. මෙම ගවේෂණ හැඳින්වෙන්නේ ‘ෆයිව් ඩීප් එක්ස්පඩිෂන්ස්’ (ගැඹුරු ගවේෂණ 5) යනුවෙනි. ලෝකයේ සාගර පහක ගැඹුරුතම ස්ථාන ගවේෂණය ‘ෆයිව් ඩීප් එක්ස්පඩිෂන්ස්’ අරමුණය.

ඒ අනුව, පළමුවෙන් වෙස්කෝවෝ ඇතුළු කණ්ඩායම ගවේෂණය කළේ අත්ලාන්තික් සාගරයේ පුවර්ටෝ රීකෝ අගාධයයි. මෙහි ගැඹුර මීටර් 8,376 කි. දෙවැනියට මීටර් 7,433 ක් ගැඹුරු සවුත් සැන්ඩ්විච් නමින් හැඳින්වෙන දකුණුදිග සාගරයේ පිහිටා ඇති අගාධය පතුලට ගියේය. වෙස්කෝවෝ තෙවැනියට ඉන්දීය සාගරයේ ජාවා අගාධය පතුලට ගියේය. ජාවා අගාධය මීටර් 7,192 ක් ගැඹුරුය. වෙස්කෝවෝගේ සිවුවැනි වික්‍රමය මරියානා අගාධය වන අතර පස්වැනි සහ අවසන් කිමුදුම වනු ඇත්තේ මෝලි ඩීප් නමැති අගාධයයි. මෙය ඇත්තේ ආක්ටික් සාගරයේය. මෙම කිමිදුම ලබන අගෝස්තුවේ සිදුවනු ඇති බව පැවැසෙයි. මේ සියලු ගවේෂණ ඇට්ලැන්ටික් ප්‍රඩක්ෂන් සමාගම විසින් වාර්තාමය වැඩසටහන් මාලාවක් ලෙස සකස් කරනු ඇති බවත් ඉදිරියේ දී එම වැඩසටහන් ඩිස්කවරි නාළිකාව ඔස්සේ විකාශය වනු ඇති බවත් පැවැසෙයි.

වෙස්කෝවෝ ඇතුළු  ගවේෂණ කණ්ඩායම විශ්වාස කරන අන්දමට, ඔවුන්ට ඉස්සන් වැනි නව ජීව විශේෂ හතරක් හමුවී ඇත. මීටර් 7,000 ක් ගැඹුරින් ‘ස්පූන් වර්ම්’ නමැති පණුවකුත්, මීටර් 8,000 ක් ගැඹුරට යද්දී, රෝස පැහැති ස්නේල් ෆිෂ් හෙවත් ගොළුබෙලි මාළුවකු ද හමුවුණු බව ගවේෂකයෝ කියති. ඊට අමතරව, දීප්තිමත් බූවල්ලකු ද දකින්න ලැබුණු බව පැවැසෙයි. මුහුදු පතුලේ පස් සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ලබා ගැනිණ. ගවේෂණ කණ්ඩායමට ප්ලාස්ටික් කෝප්පයක්, ටොෆි දවටන කිහිපයක් හමුවූවය් මෙම අවස්ථාවේදීය. මරියානා අගාධය ආශ්‍රිතව මීට පෙර ද ප්ලාස්ටික් බෑග හමුවී ඇත. සාගරයට දැමෙන කසළ අවසානයේ දී  මරියානා අගාධයට පැමිණ ඇති බව ප්ලාස්ටික් හමුවීමෙන් තහවුරු විය.

‘සාගරයට දැමෙන කසළ යන්නේ කොහෙටදැයි අපි දන්නේ නැහැ. ඒත් ඒ ගැන පුංචි හෝඩුවාවක් මරියානා අගාධයෙන් අපට හමුවුණා. සාගර දූෂණය වහා නවත්වන්න ඕනෑ. සාගරයට එක්වන ප්ලාස්ටික් විසයි. සාගර ජීවීන්ට විශාල බලපෑමක් සිදුවෙනවා’ යැයි වෙස්කෝවෝ ගවේෂණයෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය.  ප්ලාස්ටික් විස වීමෙන් බලපෑමක් එල්ල වූයේ ද නැද්ද යන්න සෙවීමට, ඉස්සන් ක්ෂුද්‍රජීවීන් වැනි කුඩා සාගර ජීවීන් සාම්පල ලෙස ලබා ගත් බව ද පැවැසෙයි.

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

RECOMMEND POSTS