බැග්ඩෑඩි මැරුණේ බල්ලකු වගේ



ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ධවල මන්දිරයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඒ, අල් බැග්ඩෑඩි ඝාතන මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමටය. එහිදී ජනපති ට්‍රම්ප් පුනපුනා කියා සිටියේ, අල් බැග්ඩැඩි බල්ලකු වගේ, බියගුල්ලකු වගේ මියගිය බවය.

ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවා වීරයකු වූ බැග්ඩෑඩි බියගුල්ලකු ලෙස හඬමින් මියගිය බවත් එවැනි මරණයක් ඔහු වැනි නරුමයකු හොඳ වැඩි බවත් ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

මීට සති කීපයකට පෙර තම පරිපාලනය මැදිහත් වී, ඔසාමා බින් ලාඩන්ගේ පුතකු වූ හම්සා බින් ලාඞ්න් ඝාතනය කළ බව ද ජනපති ට්‍රම්ප් සිහිපත් කළේය. හම්සා මරා දැමීම කළේ, ඔහු ඔහුගේ පියාමෙන් ඇමෙරිකාවට තර්ජනයක් වූ නිසා යැයි ද ඇමෙරිකන් ජනපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් අල් බැග්ඩෑඩි ඝාතනය, ට්‍රම්ප්ට පෙර ජනපති ධුරයේ සිටි බැරැක් ඔබාමාගේ අධීක්ෂණය යටතේ සිදුවුණු ඔසාමා බින් ලාඞ්න් ඝාතනයට වඩා බැරෑරුම් මෙන්ම අවදානම් එකක් යැයි ජනපති ට්‍රම්ප් පැහැදිලි කළේය.

ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ විස්තර කළ ආකාරයට එය සිදුවූයේ මෙසේය.

ඇමෙරිකන් විශේෂ බළකා සොල්දාදුවන් හෙලිකොප්ටර් 8 කින්, අල් බැග්ඩෑඩි සිටි ස්ථානයට පැමිණ පහර දුන් දුන්නේය. එම හෙලිකොප්ටර් යානා පැමිණියේ රුසියානු සහ තුර්කි හමුදා බලය පවතින ප්‍රදේශවලට ඉහළිනි. කාගේත් පොදු සතුරා අයි.එස්. ත්‍රස්තවාදීන් වූ බැවින්, රුසියාව, තුර්කිය පමණක් නොව, සිරියානු රජය, අසල්වැසි ඉරාකය හෝ ඉරානය හෝ ඇමෙරිකන් සොල්දාදුවන්ට බාධාවක් එල්ල නොවිණි. කෙසේ නමුත් තමන් යන්නේ කුමන මෙහෙයුමක් සඳහාදැයි ඇමෙරිකාව කාටවත් පවසා තිබුණේ නැත. දේශසීමාව හරහා සිරියාවට ඇතුළු වෙද්දී, හෙලිකොප්ටර් යානාවලට වෙඩි ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකන් හමුදා සොල්දාදුවන්ට සිදුවිය.

බැග්ඩෑඩි සැඟවී සිටි තිප්පොල යට උමං පද්ධතියක් විය. වටලා පහර දෙද්දී ඇමෙරිකන් සොල්දාදුවෝ ඒ උමං සියල්ල ගැන සෝදිසියෙන් පසුවූහ. අල් බැග්ඩෑඩි එක් උමඟක් තුළ කොටුවුණු අවස්ථාවේදී ඔහු බෝම්බ කබාය පුපුරුවා ගත්තේය. එම අවස්ථාවේදී ඔහුගේ යැයි සැක කෙරෙන කුඩා දරුවන් තිදෙනකු ද ඔහු අසල සිටි බවත්, ඔවුන් ද එම පිපිරීමෙන් මියගියහ. තිප්පොලේ තවත් දරුවෝ 11 දෙනකු සිටියහ. බෝම්බ කබා පැළඳ සිටි අල් බැග්ඩෑඩිගේ බිරියන් දෙදෙනාට ඇමෙරිකන් සොල්දාදුවෝ වෙඩි තැබූහ. ඔවුන් බෝම්බ පුපුරුවා ගැනීමට පෙර, ඇමෙරිකන් සොල්දාදුවෝ එම බිරියන් දෙදෙනා මරා දැමූහ. හමුවුණු දරුවන් 11 දෙනා මිත්‍ර පාර්ශ්වයකට ලබා දුන් බව ජනපති ට්‍රම්ප් පැවැසීය.

උමගේ සුන්බුන් ඉවත් කර කැබලි වුණු බැග්ඩැඩිගේ සිරුරු කොටස් පරීක්ෂා කළ බවත්, විනාඩි 15 ක පරීක්ෂණයකින් පසු බැග්ඩැඩි මියගිය බව සොල්දාදුවන් තමන්ට තහවුරු කළ බවත් ට්‍රම්ප් පැවැසීය. කෙසේ නමුත් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කිරීමට සිදුවන බැවින් සිරුරු කොටස් රැගෙන ඒමට ඇමෙරිකන් සොල්දාදුවෝ පියවර ගත්හ.

සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ බැග්ඩෑඩි සැගවී සිටි තිප්පොල සහ ගොඩනැගිල්ලට කඩා වැදී ඇමෙරිකන් සොල්දාදුවන් පහර දෙන අයුරු චිත්‍රපටයක දසුන් පෙළක් සේ, තමන් ධවල මන්දිරයේ ‘හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ’ සිට නැරැඹූ බව ජනපති ට්‍රම්ප් කියා සිටියේය.

එම අවස්ථාවට උප ජනාධිපති මයික් පෙන්ස් පමණක් නොව, ඇමෙරිකා ආරක්ෂක අංශ ප්‍රධානීහු ද රැස්ව සිටියහ. මෙම වැටලීමේ මෙහෙයුම ගැන තමන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) දැනුවත් නොකළ බව ට්‍රම්ප් පැවැසීය. ඒ ගැන දැන සිටියේ අතලොස්සක් පමණකි. ඊට හේතුව තොරතුරු ප්‍රසිද්ධ වූයේ නම්, මෙහෙයුම අසාර්ථක වීමට ඉඩ තිබුණි.

මෙහෙයුමේදී ඇමෙරිකන් සොල්දාදුවන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. මෙහෙයුමට සම්බන්ධ වුණු හමුදා නිල සුනඛයකු තුවාල ලැබුවේය. ප්‍රහාරයෙන් අයි.එස්. සාමාජිකයෝ රැසක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර අයි.එස්. ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ද සිටින බව ඇමෙරිකන් සොල්දාදුවන් තමන්ට පැවැසූ බව ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS