කොළඹට රැස්වුණු නිවුන්නු



එකම මව් කුසක එකම අවස්ථාවකදී පිළිසිඳගෙන විනාඩි ගණනාවක පරතරයකින් මෙලොව එළිය දකින්නා වූ නිවුන් දරුවන් සොබාදහමේ අපූර්ව දායාදයක් ලෙස සැලකිය හැකිය.

බොහෝ විට දෙමාපියන්ට පවා වෙන් කොට හඳුනාගත නොහැකි තරමින් සමාන දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් යනු එම පවුල්වලටද ලැබෙන මහඟු සම්පතකි. එවන් නිවුන් දරුවන් අති විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේද ජීවත් වෙති.

එම දරුවන් එක් කරගනිමින් ලොව වැඩිම නිවුන් ප‍්‍රජාවක් සහභාගී වූ සම්මේලනය සඳහා වන ගිනස් ‍ලෝක වාර්තාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (20) උත්සාහක් දරනු ලැබුවේය. ශ‍්‍රී ලංකා නිවුන් සංවිධානය විසින් 'යුද ගිනි නිවාලමු ලොවට මනුෂ්‍යත්වය වපුරවමු' යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

දැනට මෙම වාර්තාව හිමිකරගෙන සිටිනේනේ තායිපේ නගරය විසින් වන අතර ඔවුන් 1999 වසරේ දී නිවුන් යුගල 4002 ක් එකතුවී එම ගිනස් වාර්තාව පිහිටුවනු ලැබ තිබේ. නිවුන් යුගල 5000ක් එකතුකර ගනිමින් එම වාර්තාව බිඳ හෙළා එය ශ්‍රී ලංකාව සතු කරගැනීම තම අපේක්ෂාව වූ බව ශ‍්‍රී ලංකා නිවුන් සංවිධානයේ සභාපතිනී උපුලී ගමගේ මහත්මිය පැවසුවාය. මෙම අපූර්ව සම්මේලනය සඳහා නිවුන් දරුවන් යුගල 12,844 දෙනෙකු එක්ව සිටියේ ඇගේ ඇගේ නිවුන් සොහොයුරිය වන චමලී ගමගේ ගේ අපේක්ෂාව මල්ඵල ගන්වමිනි.

උපුලි හා චමලි චිත‍්‍රපට, ටෙලිනාට්‍ය හා වෙළෙඳ දැන්වීම් ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදුන් ජනප්‍රිය නිවුන් සොයුරියන් දෙපළකි.

මෙම උත්සවයේ පිළිගැනීම් කටයුතු, නිවේදනය, සංගීත හා නර්තන අංග යනාදී සියල්ල සිදු කළේ නිවුන් සොයුරු සොයුරියන් වීම එම එයට පැමිණි සියලු දෙනාට අපූර්වතම අත්දැකීමක් විය.

පදියපැලැල්ලේ විපුලසාර සහ පදියපැලැල්ලේ සුගතසාර යන නිවුන් භික්ෂූන් වහන්සේලා, එකම දිනයේ යුද හමුදාවට බැඳී එකම පාඨමාලාව හදාරා එකම දිනයේ මේජර් ජනරාල් නිලයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජයන්ත සෙනවිරත්න හා පූරක සෙනවිරත්න මේජර් ජනරාල්වරුන් ඇතුළු විවිධ වයස්වල පසුවන නිවුන් සොයුරු සොයුරියන් රැසක් මේ සඳහා එක්වූහ.

මේ සඳහා ගිනස් ලෝක වාර්තා කමිටු සාමාජික කණ්ඩායමක් ද මේ අවස්ථාවට එක්ව සිටියේ එහි අධීක්ෂණ කටයුතු වෙනුවෙනි. ඔවුන් විසින් ඊයේ දිනයේදී ලබාගත් වාර්තා හා නිරීක්ෂණ අනුව මෙහි ගිනස් වාර්තා හිමිකම ශ්‍රී ලංකාව වෙත ලබාදීම පිළිබඳ තීරණයක් ගනු ඇත.

ඩයනා උදයංගනී
ඡායාරූප - ඉෂාන් සංජීව
 
 
 
 

RECOMMEND POSTS