ඉන්දුනීසියාවේ ජනපතිවරණය මහ මැතිවරණය එකට



ඉන්දුනියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අද (17) පැවැත්විණි. ලෝක ඉතිහාසයේ එක් දිනක් තුළ ක්‍රියාත්මක වූ වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රියාවලිය මෙය බවත්, ලොව විශාලතම ඉස්ලාමීය රාජ්‍යයක පැවැත්වූ විශාලතම මැතිවරණය මෙය බවත් වාර්තා විය.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එක විට පැවැත්වුණු පළමු අවස්ථාව ද මෙයයි. මිලියන 190 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව ඉන්දුනීසියානු මැතිවරණ කොමිසම පැවැසීය.

ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සැඳුම්ලත් ඉස්ලාමීය රාජ්‍යයකි. ඉන්දුනීසියාවේ අගනුවර ජකර්තාය. ලෝකයේ වේලා කලාප කීපයකට ඉන්දුනීසියා දූපත් අයත් වෙයි. එහෙයින් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු විවිධ වේලා යටතේ පැවැත්විණි. පළමුවෙන්ම ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වූයේ ඉන්දුනීසියාවේ නැගෙනහිර දූපත්වල වැසියන්ට යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ජනාධිපති ධුරය වෙනුවෙන් අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් වූහ. ඉන්දුනීසියා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති යෝකෝ විඩාඩෝ යළි ජනපති ධුරය වෙනුවෙන් ඉදිරිපත් වූ අතර ඔහුට අභියෝග කිරීමට ඉදිරිපත් වූයේ පරාබෝවෝ සුවියන්තෝය. මොහු ඉන්දුනීසියාවේ හිටපු හමුදා ජනරාල්වරයෙකි.

සුවියන්තෝ ඉන්දුනීසියා හමුදාවට පක්ෂපතී ‘ජෙරින්ද්‍රා’ පක්ෂය නියෝජනය කරයි. උප ජනාධිපති ධුරය වෙනුවෙන් යෝකෝ විඩාඩෝ නම් කරනු ලැබුවේ මාරූෆ් අමීන් ය. සුවියන්තෝ විසින් උප ජනපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළේ සැන්දියේගා යූනෝ ය.

ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩාඩෝ ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ අයෙකි. දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ දිගටම ධුරයේ රැඳී සිටීමට යෝකෝ විඩාඩෝ ට හැකියාව ලැබෙනු ඇති බවය.

2014 වසරේ දී ද ජනපති ධුරය වෙනුවෙන් සටන පැවැතියේ යෝකෝ විඩාඩෝ සහ පරාබෝවෝ සුවියන්තෝ අතරේය. එහෙයින් මෙම ජනපතිවරණය 2014 ජනපතිවරණ සටන යළි ප්‍රති නිර්මාණය වීමක් කියාය. නව ජනාධිපතිවරයාගේ ධුර කාලය වන්නේ 2019 සිට 2024 දක්වාය.

ඉන්දුනීසියා පාර්ලිමේන්තුව හෙවත් ජනතා මන්ත්‍රණ සභාව ආසන 711 කින් සමන්විතය. එය ජනතා නියෝජිත මණ්ඩලය සහ ප්‍රාදේශීය නියෝජිත මණ්ඩලය ලෙස ආසන 575 ක් සහ 136 ක් වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. බහුතර බලය සඳහා ජනතා නියෝජිත මණ්ඩලයේ ආසන 288 ක ප්‍රමාණයක් දිනා ගැනීම කළ යුතුය. පක්ෂ 16 ක් ජාතික මට්ටමින් මැතිවරණයට ඉදිරිපත් විය. ඒ අතර නවක පක්ෂ හතරක් ද විය.

ඉන්දුනීසියා තරුණ තරුණියන් අතරේ මැතිවරණය ජනප්‍රිය කරලීමට ඉන්දීනිසියා මැතිවරණ බලධාරීහු අපූරු ක්‍රම රැසක් ක්‍රියාත්මක කර තිබුණි. මැතිවරණ බලධාරීන් චිත්‍රකතා සහ සිනමා සුපිරි වීරයන් ලෙස සැරැසී ඡන්ද පොළ කටයුතුවල නියැලුණාහ. එපමණක් නොව,  තරුණ තරුණියන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ ස්පයිඩර් මෑන්, බැට්මෑන්, කැප්ටන් ඇමෙරිකා, ෆ්ලෑෂ්, තෝර් ආදී සුපිරි වීරයන් මෙන් සැරැසෙමිණි.

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS