අලුත් විදියේ අභ්‍යවකාශ වස්තුවක් ප්ලූනෙට්



අලුත් විදියේ අභ්‍යවකාශ වස්තූන් විශේෂයක් හඳුන්වා දීමට තාරකා විද්‍යාඥයෝ පසුගිය දා කටයුතු කළහ. මේ වස්තූන් හඳුන්වා දීමට ඔවුන් භාවිත කරන්නේ හරි අපූරු වදනකි. එය ‘ප්ලූනෙට්ස්’ ය.

තවමත් මේ වදන තාරකා විද්‍යා වචන අතරට එක් වී නැති නමුත් විද්‍යාඥයන් ඉදිරිපත් කරන තර්ක අනුව, ඉදිරියේ දී මෙම වදන ද තාරකා විද්‍යාවට එක් වනු නිසැකය.

ප්ලූනෙට්ස් ගැන තවමත් කිසිදු සාක්ෂියක් විද්‍යාඥයන්ට ලැබී නැත.

කෙසේ නමුත්, පරිගණක ගණනය කිරීම් අනුවත්, පරිගණක අනුරු අනුවත්, ‘ප්ලූනෙට්ස්’ සැබෑවක් සහ ඒවා නිර්මාණය විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ප්ලූනෙට් යනු කුමක්දැයි පැහැදිලි කිරීමට නම් බාහිර් ග්‍රහයන් ගැන සඳහන් කළ යුතුය.

බාහිර් ග්‍රහයකු යනු අප සෞර ග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටා ඇති ග්‍රහයන්ය. මේවා ද තරුවක් වටා කැරකෙයි. හරියට, අප පෘථිවිය අපේ සූර්යයා (සූර්යයා ද තරුවකි) වටා කැරකෙන ආකාරයට එය සිදුවෙයි.

මේ වනවිට මෙවැනි බාහිර් ග්‍රහයන් 4,000 ක් පමණ සොයාගෙන ඇත.

බෘහස්පති හා සමාන උණුසුම් ග්‍රහයන් අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇත. (බෘහස්පති යනු වායු යෝධයකි. එසේත් නැතිනම් වායුවලින් පිරුණු ග්‍රහයෙකි. අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලොව වන්නේ ද බෘහස්පතිය.) බෘහස්පති හා සමාන උණුසුම් වායු යෝධයන් පොදුවේ හැඳින්වෙන්නේ ‘උණුසුම් බෘහස්පතියෝ’ යනුවෙනි.

මෙවැනි උණුසුම් බෘහස්පතියෝ ඊට අයත් තරුවට ළං වී, එය වටා කැරකෙයි. තාරකා විද්‍යාඥයන්ගේ අදහස නම්, මෙවැනි ‘උණුසුම් බෘහස්පතියෝ’ එසේත් නැතිනම් ග්‍රහයෝ, ඒවායේ තරුවට ළං වී උපත ලැබුවේ නැති බවය.

විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ මෙවැනි ග්‍රහයන්, වෙනත් ඈතින් පිහිටි කක්ෂයකට අයත්ව තිබී, පසුව සෙමින් සෙමින් එම තරුව වටා කක්ෂයකට පිවිසෙන්න ඇති බවය.

මේ උණුසුම් බෘහස්පතියන්ට චන්ද්‍රයන් ඉන්නවා නම් හෝ සිටියා නම් හෝ ඒවා ග්‍රහයාගේත්  තරුවේත් ඉතා දැඩි ගුරුත්වාකර්ශණ බලයකට නතුවෙයි.

‘උණුසුම් බෘහස්පති’ බාහිර් ග්‍රහයා තරුව දෙසට තල්ලු වෙද්දී, චන්ද්‍රයාගේ කක්ෂයේ වෙනසක් සිදුවෙයි. එය බාහිර් ග්‍රහයාගේ කක්ෂයෙන් කෙමෙන් කෙමෙන් ඉවතට තල්ලු වී, සම්පූර්ණයෙන්ම ග්‍රහයාගේ කක්ෂයෙන් මිදෙයි.

ඉන්පසු ඒ චන්ද්‍රයා, තරුවේ ගුරුත්ව බලපෑම නිසා, සම්පූර්ණයෙන් නව කක්ෂයකට වැටී තරුව වටා ගමන් කරන්න ගනී. මෙම චන්ද්‍රයා වැනි ග්‍රහ වස්තු ‘ප්ලූනෙට්ස්’ යන නමින් හැඳන්වීමට විද්‍යාඥයන් තීරණය කර තිබේ. චන්ද්‍රයා, බාහිර් ග්‍රහයාගේ කක්ෂයෙන් මිදී, වෙනම කක්ෂයකින් තරුව වටා යද්දී, තවදුරටත් එය චන්ද්‍රයකු ලෙස සැලකෙන්නේ නැත. චන්ද්‍රයා ග්‍රහයකු බවට පත් වෙයි.

ප්ලූනෙට්ස් ගැන අදහස ලොවට හෙලිදරව් වුණේ ‘රාජකීය තාරකා විද්‍යා සංගමය’ එළිදක්වන විද්‍යා සඟරාව මගිනි.

ප්ලූනෙට්ස් ගැන අදහස ලොවට ඉදිරිපත් කළේ ඇමෙරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකි. මේ අයුරින් විශාල ග්‍රහලෝකවලට අයත් චන්ද්‍රයන්, නව ග්‍රහලෝක බවට පත්වීම ග්‍රහ මණ්ඩලවල සිදුවනු ඇතැයි විද්‍යාඥ මාරියෝ සුක්රේසියා පෙන්වා දෙයි.

කෙසේ නමුත් ප්ලූනෙට්ස් සැබෑවක් නම් ඒවා විනාශ වී යෑමේ සම්භාවිතාව වැඩි බව ද පැවැසෙයි. පරිගණක නිර්මාණ අනුව සියයට 44 ක් චන්ද්‍රයන්ගේ අවසානය සිදුවන්නේ, ඒවා ඒවායේ ග්‍රහයා මතට කඩා වැදීමෙනි. සියයට 6 ක්, තරුව විසින් ගිල ගනු ලැබේ. සියයට දෙකක් ග්‍රහයාගේත් තරුවේත් කක්ෂවලින් මිදී ඉවතට විසිවී, සදාගත් විශ්වයේ සැරිසරනු ඇත. ඉතිරි සියයට 48 අනතුරක් නොවී රැකෙනු ඇත.

කෙසේ නමුත් ප්ලූනෙට්ස් ගැන තවමත් අපට නිශ්චිත පැහැදිලි සාක්ෂියක් ලැබී නැත. අපේ චන්ද්‍රයා ද දිනෙක ප්ලූනෙට් ග්‍රහ වස්තුවක් බවට පත් වී, වෙනම ග්‍රහයෙක් වීමේ සම්භාවිතාවක් පවතින බව පර්යේෂණයට සම්බන්ධ වුණු විද්‍යාඥයෝ පැහැදිලි කරති.

‘පෘථිවියේ වඩදිය බාදිය බලපෑමෙන්, සෑම වසරකම සෙන්ටි මීටර් 3 කින්, පෘථිවියෙන් අපේ චන්ද්‍රයා ඉවත් වෙනවා. කවදා හරි දවසක, චන්ද්‍රයා පෘථිවි කක්ෂයෙන් ඉවතට පනීවි. ඉන්පසු එය වෙනම ග්‍රහලොවක් බවට පත්වනු ඇත.’ යැයි විද්‍යාඥ මාරියෝ සුක්රේසියා වැඩිදුරටත් පැහැදිලි කරයි.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS