යාපනය ජාත්‍යන්තර ගුවන්තොට විවෘත කෙරේ



යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) විවෘත කෙරුණි.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුවහන් කරමින් ඉන්දියාවේ චෙන්නායි නුවරින් ගමන් ආරම්භ කළ ඉන්දීය සම්භාවනීය අමුත්තන් රැගත් මංගල ගුවන් යානය  අද (17) පෙරවරුවේ යාපනය ගුවන් තොටුපොළට ළඟා විය.    

‘එයා ඉන්ඩියා’ සමාගමට අනුබද්ධිත ‘එලායන්ස් එයා’ සමාගමේ ඒ.ටී.ආර්.72-600 කෙටි දුර ගුවන් යානය මෙම ගුවන් සේවයේ යොදා තිබේ. මෙම යානය ‘එලායන්ස් එයා’ සමාගමේ ප්‍රථම ජාත්‍යන්තර ගුවන් යානයයි.

ශ්‍රී ලංකා රජය සමඟ 2005 වසරේදී ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුමක් යටතේ පලාලි ගුවන් තොටුපොළේ ධාවනය පථය සංවර්ධනය කිරීමට ඉන්දීය රජය මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේය. යාපනයේ සිට කලාපීය රටවලට වාණිජ මගී ගුවන්යානා මෙහෙයවීම මෙහි අරමුණ විය. ගුවන් තොටුපොළේ අනෙකුත් පහසුකම් ස්ථාපනය කිරීම ඇතුළු මෑතකදී කරන ලද සංවර්ධන හා පුළුල් කිරීමේ කටයුතු කරන ලද්දේ ශ්‍රී ලංකා රජය විසිනි. චෙන්නායි සහ යාපනය අතර වාණිජ ගුවන් ලබන මස මුලදී ආරම්භ කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග,  උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ‘එයා ඉන්ඩියා’ ප්‍රධාන කළමනාකාර අධ්‍යක්ෂ අශ්වානි ලොහානි, ‘එලායන්ස් එයා’ ප්‍රධාන විධායක නිලධාරී සී.එස්. සුබයියා, යාපනයේ ඉන්දීය කොන්සාල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් යන මහත්වරුන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, මෙරට හා ඉන්දීය රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS