බෙලරූස් නිරූපිකාව හිරෙන් නිදහස්



2016 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වුණු ඇමෙරිකා ජනාධිපතිවරණයේදී, රුසියානු පරිගණක හැකර්වරුන්ගෙන් බලපෑම් එල්ල වුණැයි පැවැසූ බෙලරූස් ජාතික තරුණිය නිදහස් කිරීමට රුසියානු අධිකරණයක් තීන්දු කළේය.

අධිකරණය මෙසේ තීන්දු කළේ අනස්ටාෂියා වෂූකෙවිච් නමැති ඇය පවසා තිබෙන කිසිවක් ඔප්පු කිරීමට ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් නොමැති බව පෙන්වා දෙමිනි.

අනස්ටාෂියා වෂූකෙවිච් නිරූපිකාවක සහ වෘත්තීය මට්ටමේ ගණිකාවක ද වන්නීය.

මැය ‘සෙක්ස් ගුරු’ යන නමින් ප්‍රසිද්ධ, ලිංගික හැසිරීම් පුහුණු කරන, ඇලෙක්සැන්ඩර් කිල්රෝයි නමැත්තා සමඟ තායිලන්තයේදී අත්අඩංගුවට පත් වූවාය. ඒ, තායිලන්තයේ ‘සෙක්ස් පුහුණු පාසලක්’ පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි.

අනස්ටාෂියා වෂූකෙවිච්, නට්ස්යා රිබ්ක් යන නමින් ද ප්‍රසිද්ධියට පත් වී සිටින්නීය. මැය කාගේත් අවධානයට ලක් වූයේ රුසියානු උප අගමැතිවරයා සමඟ රුවල් නැවකින් විනෝද චාරිකාවකට යෑම සහ ඒ සම්බන්ධ විස්තර ප්‍රසිද්ධ වෙද්දීය.

තායිලන්ත බන්ධනාගාරයේ සිටිද්දී, අනස්ටාෂියා වෂූකෙවිච් තායිලන්ත බලධාරීන්ට පවසා ඇත්තේ, 2016 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වී, ට්‍රම්ප්ට දිනන්න සැලැස්වූ බවට තොරතුරු තමන් දන්නා බවය. අනස්ටාෂියා වෂූකෙවිච් කළ මෙම ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් වූ අතර ඇයට ලොකු ප්‍රසිද්ධියක් ද හිමිවිය.

තායිලන්තයේ ලැබූ සිරදඩුවම් අවසන් වී, අනස්ටාෂියා වෂූකෙවිච් සහ ඇලෙක්සැන්ඩර් කිල්රෝයි මොස්කව් බලා පැමිණි අවස්ථාවේදී රුසියානු ආරක්ෂක අංශ විසින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ අධිකරණය හමුවට යොමු කරනු ලැබූහ.

අනස්ටාෂියා වෂූකෙවිච් පවසා ඇති කිසිවක් සත්‍ය නොවන බවත්, ඒවා තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් අධිකරණය එම අවස්ථාවේදී තීන්දු කළේය. ඒ අනුව, අනස්ටාෂියා වෂූකෙවිච්ට නිදහස හිමිවුණු නමුත් ඇය සම්බන්ධයෙන් තවත් නඩු විභාගයක් පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.

මොස්කව්හිදීය
(එන්.ඩී.ටීවී. ඇසුරිනි)


RECOMMEND POSTS