පුල්වාමා ප්‍රහාරය එල්ල කළ ‘මොහොමද්ගේ හමුදාව’



මේ කතාව ඇරැඹෙන්නේ, 1999 වසරේ දෙසැම්බර් 24 වැනිදා ය. ඉන්දියන් ගුවන් සේවයට අයත් ගුවන් යානා අංක 814, එයාර්බස් ඒ 300 වර්ගයේ යානයක් විය.

යානය, නේපාලයේ කත්මණ්ඩු ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පැමිණීමේ අරමුණින්ය.

යානය ඉන්දීය ගුවන් සීමාවට පිවිසීමට ඔන්න මෙන්න තිබියදී එය ඉස්ලාමීය ත්‍රස්තයන් පිරිසක් විසින් පැහැර ගනු ලැබීය. යානය පැහැර ගැනීම කළේ හර්කාත් උල් මුජහදීන් නමැති පාකිස්තාන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන්ය.

පැහැරගත් යානය, ඉන්දියාවේ අම්රිත්සාර්, පාකිස්තානයේ ලාහෝර් පමණක් නොව ඩුබායි දක්වාත් ඉන්පසු ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාත දක්වාත් රැගෙන යන ලදී. අවසානයේදී එය ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතට ගොඩබැස්සීමට හර්කාත් උල් මුජහදීන් සාමාජිකයෝ කටයුතු කළහ. මේවනවිට ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය යටතේ පැවැතිණි. ඔවුන්ට අල් කයිඩා සංවිධානයේ ද සහාය හිමිවිය.

පැහැර ගැනීමට ලක් වුණු යානයේ සිටි මගීන් ගණන 176 කි. ඔවුන්ගෙන් 27 දෙනකු ඩුබායිවලදී මුදා හැරීම සිදුවිය. එහිදී එක් මගියකුට පිහි ප්‍රහාරයක් එල්ල වුණු අතර තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.

කන්දහාර් බලා ගිය පැමිණි පසු, තලේබාන් ත්‍රස්තවාදීන් ගුවන් යානය වට කළේ, ඉන්දීය හමුදා පැමිණ ගුවන් යානයේ මගීන් බේරා ගැනීම වළක්වමිනි.

තලේබාන් සංවිධානයට ද පාකිස්තාන බුද්ධි අංශයේ සහාය හිමිවී තිබුණු අතර, එසේ නොවුණා නම්, යානය පැහැර ගැනීමේ අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් විසඳා ගැනීමට හැකිවන බව ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානී අජිත් දොවාල් පසුව කළ ප්‍රකාශයක සඳහන් වෙයි.

හර්කාත් උල් මුජහදීන් ත්‍රස්තයන් ගුවන් යානය පැහැර ගත්තේ, ඉන්දීය අත්අඩංගුවේ පසුවුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් මුදා හරින්නැයි ඉන්දීය රජයට බල කරමිනි.

ගුවන් යානයේ පිරිස දින 7 ක් තිස්සේ ප්‍රාණ ඇපයේ රඳවා තබා ගැණුනු අතර, අවසානයේ දී ඔවුන් නිදහස් කිරීම සිදුවූයේ ඉන්දියාව ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් තිදෙනකු නිදහස් කිරීමට එකඟත්වය පළ කිරීමෙන් පසුවය.

මුෂ්ටාක් අහ්මද් සර්ගාර්, අහ්මද් ඕමාර් සඊඞ් ෂෙයික් සහ මුල්ලානා මසූද් අසාර් යනු ඔවුන් තිදෙනාය. 2002 වසරේ සිට, 2008 මුම්බායි නුවරට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයත්, ඉන්පසු පසුගිය 14 වැනිදා එල්ල වුණු ඉන්දු කාශ්මීරයේ පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයටත් මොවුන් සම්බන්ධය. පුල්වාමා ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ 46 ක් මියගියහ.

පුල්වාමා ප්‍රහාරය සිදු කළේ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලියයි. මෙම කල්ලිය ඉන්දීය පාලනයට නතු ඉන්දු කාශ්මීරයේ ක්‍රියාත්මක වන්නේ 1999 වසරේ සිටය. ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ යන්නෙහි අර්ථය ‘මොහොමද්ගේ හමුදාව’ යන්නය.

මෙම ත්‍රස්ත කල්ලිය පිහිටුවා ඇත්තේ 1999 වසරේ දී ඉන්දීය අත්අඩංගුවෙන් නිදහස ලැබූ මසූද් අසාර් විසිනි. මසූද් අසාර් පාකිස්තාන අගාමික නායකයකු ද වෙයි.

ඉන්දියාව සහ ඇමෙරිකාව පමණක් නොව, එක්සත් රාජධානිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් හඳුන්වා දී ඇත. ඉන්දු කාශ්මීරයේ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ පමණක් නොව, තවත් බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වෙයි. මොවුන් ඉන්දු කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්නේ 1989 වසරේ සිටය.

විකිපීඩියා ඇසුරිනි


RECOMMEND POSTS