ජනාධිපති ට‍්‍රම්ප් තෙරේසා මේ හමුවෙයි



මහා බි‍්‍රතාන්‍යයේ දෙදින නිල සංචාරයක යෙදෙන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ අගමැතිනී තෙරේසා මේ අතරේ විශේෂ හමුවක් පැවැත්විණි.

ඇමෙරිකා ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට ඔහුගේ බිරිඳ මෙලානියා පමණක් නොව, ඇමෙරිකන් රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ද එක් වී සිටිති.

ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් සහ ධුරයෙන් ඉවත් වන අගමැතිනී තෙරේසා මේ පළමුවෙන් හමුවූයේ උදෑසන ආහාරය සඳහාය. ඉන්පසු දෙදෙනා එක් වී බි‍්‍රතාන්‍ය ව්‍යාපාරික ප‍්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ, ශාන්ත ජේම්ස් මාලිගයේදීය.

මෙහිදී මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්විණි. බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සිදුවිය යුතු ට‍්‍රම්ප් අවධාරණය කළේය.

බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු ඇමෙරිකාව සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම දෙරටටම වාසිදායක බව ජනපති ට‍්‍රම්ප් පෙන්වා දුන්නේය.

බි‍්‍රතාන්‍යයේ පාලක කොන්සවටිව් පක්ෂය ඔවුන්ගේ නායිකාව ලෙසත් මහා බි‍්‍රතාන්‍යයේ අගමැතිනිය ලෙසත් තෙරේසා මේ තෝරා පත් කර ගත්තේ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමටය.

කෙසේ නමුත් අගමැතිනිය යුරෝපා සංගමය සමඟ ඇතිකරගත් ගිවිසුමට විපක්ෂ කම්කරු පක්ෂයෙන් පමණක් නොව, පාලක කොන්සවටිව් පක්ෂයෙන් ද විරෝධය එල්ල විය. තෙරේසා මේගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කෙරුණි. ඒ අනුව, ධුරයෙන් ඉවත් වීමට අගමැතිනී තෙරේසා මේ තීරණය කළාය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS