ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල්



වන්දනා කටයුතු සඳහා ඊශ්‍රායලය වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරට රජය මඟින් පිටුවහල් කර ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබේ.

මොවුන් ජෙරුසෙලම, නාසරෙත් ඇතුළු ඊශ්‍රායලයේ ජේසු උපත සිදුවූ ස්ථාන නැරඹීම සහ වන්දනා කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය කතෝලික බැතිමතුන් පිරිසක් වන අතර, ඔවුන් පිළිබඳව එරට ඔත්තු සේවා මඟින් සපයන ලද තොරතුරු මත මෙසේ මෙම පිරිස පිටුවහල් කළ බව අනාවරණය වී තිබේ.

ඊශ්‍රායලයේ ආගමන - විගමන නීති සහ රෙගුලාසි මත මෙම පිරිස මෙසේ පිටුවහල් කළ බව එරට රජය දන්වා එවා ඇති අතර, එහෙත් මෙම පිරිස නීත්‍යානුකූලව මෙම පිරිස ඊශ්‍රායලයේ සංචාරය සඳහා ගොස් ඇති බව  මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කළ කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

මෙම පිරිස ඊයේ(20) සවස 6.45ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් 43 දෙනෙකු ද , අද(21) අළුයම 3.45 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 283 දරන ගුවන් යානයෙන් 10 දෙනෙකු ද මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබුණි.

එමෙන්ම මෙම කණ්ඩායමට අයත් තවත් 18 දෙනෙකු අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එසේ පිටුවහල් කර එවන බවට ඊශ්‍රායල රජය විසින් දන්වා එවා තිබේ.

මොවුන් සියලු දෙනා කුළියාපිටිය, වෙන්නප්පුව, මීරිගම ආදී ප්‍රදේශ වල පදිංචි සිංහල ජාතිකයන් වන අතර, මෙයින් 49 ක් පිරිමි ද, 04 ක් කාන්තාවෝ වන බව අප වාර්තාකරු පවසයි .

කටුනායක ගුවන් තොටුපළ සහකාර පාලකවරයාගේ උපදෙස් පරිදි මෙම පිරිස  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බාර දී තිබේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS