බහරේනයේ ශ්‍රී ලංකා පන්සල



2008 වර්ෂයේදී පිහිටවනු ලැබූ බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධාගමික විහාරස්ථානය වන 'අපේ පන්සල රෆා'හි අභිනවයෙන් ඉදිකරන ලද රන් කොත් සෑ වෙහෙර කොත් වහන්සේ නිරාවරණය කිරීම බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති  ආචාර්ය ඒ. සජ්. යූ. මෙන්ඩිස් මහතාගේ  ප්‍රධානත්වයෙන් ඉකුත්දා  සිදු කෙරිණි.  

වසර දහයක පමණ සිට  ‘රෆා‘  ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ' රෆා පන්සල ' විහාරස්ථානය බහරේන් රාජ්‍යයේ පමණක් නොව සමස්ත මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ පිහිටවනු ලැබූ ප්‍රථම බෞද්ධ විහාරස්ථානය වේ. 
 
බහරේන්හි වෙසෙන සුමිත් ගුණසේකර මහතාගේ අප්‍රතිහත ධෛර්යෙන් සහ දුරදර්ශි නායකත්වයෙන් බිහිවුණු මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි වූ චෛත්‍යයරාජයාණන් වන රන්කොත් සෑ වෙහෙර කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යකර්මය එරට වෙසෙන බෞද්ධ, කිතුණූ  ඉස්ලාම් සහ හින්දු යනාදී සියලුම ආගම් වල ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමද විශේෂත්වයකි.

අභිනවයෙන් ඉදි වූ මෙම ස්තුපය මැද පෙරදිග කලාපයේ ඉදි වූ ප්‍රථම බෞද්ධාගමික ස්තුපය විය හැකි අතර මෙමගින් බහරේන් රාජ්‍යයේ පවතින ආගමික සංහිදියාව මැනවින් නිරූපනය කරයි. මේ වනවිට ලංකාවේ සිට වැඩම කර වූ බුදු පිළිම සහ බෝධී වෘක්ෂයකින්  සමන්විත වන මෙම විහාරස්ථානය, ශ්‍රී ලාංකික බෞද්ධාගමිකයන් හට තම ආගමික වතාවත් සිදු කිරීම සඳහා  පහසුකම් සලසා දී ඇත.

බහරේනයේ වෙසෙන අනෙකුත් ආගම් අදහන ශ්‍රී ලාංකිකයන් සඳහා බහරේන් රාජ්‍යයේ ස්ථාපිත ආගමික ස්ථාන පවතින බැවින්, ' රෆා පන්සල ' ශ්‍රී ලාංකික බෞද්ධාගමිකයන්ට තම ආධ්‍යාත්මික ගුණධර්ම හා ආගමික ඉගැන්වීම් වැඩි දියුණු කර ගැනීමට උපකාරී වන තෝතැන්නක් වනු නොඅනුමානය.

මෙහි දී අදහස් දැක් වූ රෆා විහරස්ථානයේ  භාරකරු සුමිත් ගුණසේකර මහතා මෙම ස්තූපය ඔහුගේ සහ බහරේනයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ මාස 06 ක පමණ කාලයක අඛණ්ඩ ව්‍යායාමයක ප්‍රතිපලයක් ලෙස ප්‍රකාශ කළ අතර රන් වර්ණාලේපිත කොත් වහන්සේ ශ්‍රී ලංකාවේ දී නිර්මාණය කර වැඩම වූ බව කීය. 

 තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම පන්සල බෞද්ධාගමිකයන් පමණක් නොව බහරේන්හි වෙසෙන අන්‍යාගමික ජනයා ද නිතර ගැවසෙන සහ ආගමික සංහිඳීයාව පවත්වා ගැනීම සඳහා යොදා ගනු ලබන ස්ථානයක් බවයි.


RECOMMEND POSTS