පුංචි පැටවුන්ට සරණක් වෙන්න: ‘අපි අපිම’ ආයාචනයක්



කොතරම් අඟහිඟකම් තිබුණත්, අඩුපාඩුකම් තිබුණත්, ඕනෑම අම්මා තාත්තා කෙනකුගේම බලාපොරොත්තුව තමන්ගේ දූ දරුවන්ට යහපත් අනාගතයක් උදා කර දීමයි. තුන් වේලට එක වේලවක් හරි කාලා සියලු දුක් ගැහැට විඳගෙන මහ පොළොව එක්ක හැප්පිලා ඔවුන් තම දරුවන්ට හෙටක් තනා දෙන්න ගන්නා මෙහෙවර මිල කරන්න බැහැ.

එවැනි අහිංසක අසරණ මව්පියන්ගේ දූ පුතුන්ට හෙටක් තනන්න වෙර වීරිය දෙන, අපේ යුතුකම ඉටු කරන, පුංචි එකමුතුව තමා ‘අපි අපිම’. ‘අපි අපිම’ එකමුතුවට මුල පිරුණේ 2015 අවුරුද්දේ. නුගේගොඩ විජේරාමයේ පුංචි බෝඩිමකින්. බෝඩිමේ ආදරණීය මිතුරන්, ලංකාවේ නොයේකවිදි පළාත්වලින් ඇවිල්ලා කොලොම්තොට රැකියාවල නියැලුණු අය. මේ ගෙන්දගම් පොළොවේ ජීවිතය සොයන ඔවුන්ටත් බොහෝ අඩුපාඩු තියෙනවා. ප්‍රශ්න තියෙනවා.

එහෙම වුණත්, ඒ හැමෝම නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලැබූ අය. අධ්‍යාපනයේ ඇති අගය හඳුනාගත් ඔවුන්, ඔවුන්ගේ අවශ්‍යතා මොහොතකට අමතක කරලා, 2015 වසරේ ඉදන් ‘අපි අපිම’ තුළින් තවත් පරපුරකට මං පෙත් හදන්න දිරි දෙනවා.

2015 වසරේ ඔවුන්ගේ මුල්ම පරිත්‍යාගය සිදු කෙරුණේ නිකවැරටිය අඹගස් වැව ප්‍රාථමික විදුහලට. පාසලේ ඉගෙනුම ලබන දූ දරුවන් ගණන 42 ක්. කාෂ්ඨක පොළොවේ එක් කන්නයක් බොහොම අමාරුවෙන් වගා කරලා අනෙක් කාලවල කුලී වැඩවලින් එදා වේල සොයා ගන්නා අහිංසක අම්මලා තාත්තලගේ පුංචි පැටවු එදා වින්ද සතුට අපමණයි. බොහෝ අම්මලා තාත්තලාගේ දෑස්වලට කඳුළු ඉනුවා. අවුරුද්දක් පුරා පාවිච්චියට ගන්න පොත්පත්, පෑන් පැන්සල්, ස්ටිකර් කොළයේ සිට පොත් බෑග්, කෑම පෙට්ටි, වතුර බෝතල්, නිල ඇඳුම් රෙදි විතරක් නොවේ කුඩයක් පවා අප පුංචි දරු දැරියන්ට පරිත්‍යාග කළා.

2016 අවුරුද්දේ අපි දෙවැනි පරිත්‍යාගය සිදු කළේ කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමිකයටයි. එතැන පුංචි පැටවු 80 ක්. තිස් වසරක යුද්ධය අවසානයේ ඉතිරි වුණු නටබුන් එක්ක ජීවිතය ගොඩ ගන්න වෙර දරන අපේම අයගේ දූ දරුවන් ඒ පාසලේ අධ්‍යාපනය ලබනවා. යුද සමයේ බස් බෝම්බයකින් ජීවිත හැට ගණනක් බිලි ගත් සිද්ධිය ඔබට මතක ඇත. කණුගහවැව පාසලට යන තැන අදටත් එම බෝම්බ පිපිරුමේ අඳුරු සෙවනැලි දකින්න ලැබෙනවා. අපි ඒ, දරුවන්ටත් සියලුම පාසල් උපකරණ පරිත්‍යාග කළා.

ඒ වගේම තමයි, මේ ව්‍යාපෘතියේදී අපි පාසලට වගේම එහි ගුරුවරුන්ටත් කුමක් හෝ පුංචි තෑග්ගක් ගෙනියනවා. ඒ මොනවටත් නෙවෙයි, දිළිඳුකමින් පෙළෙන ඉතා දුෂ්කර ගම්මානවල රැකියාවට ගිහින් ඔවුන් දරන මෙහෙවර අපට මිල කරන්න බැරි හින්දයි.

තමන් අරන් එන බත්පත දරුවන්ට දීලා ඇල් වතුර විතරක් බීලා කුසගින්න නිවා ගන්නා ගුරුවරු මේ වගේ දුෂ්කර පාසල්වල ඉන්නවා. ඒ වගේම තමයි, මේ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම අද දක්වාත් ‘අපි අපිම’ එක්ක රැඳී සිටින පිරිසක්ල ඉන්නවා. අපේ රටේ වගේම පිටරටවල ඉන්න ඒ අය පසුගිය අවුරුදු දෙක තුළම අපට  දායකත්වය දැක්වූවා. ඔවුන් අදටත් ‘අපි අපිම’ කාණ්ඬේ එක්ක දුක බෙදා ගන්නවා. ඒ අප ගැන ඔවුන්ට ඇති විශ්වාසය හින්දයි.

මේ 2017 වසරේ දී අපි තෝරා ගත්තේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය කොට්ඨාශයේ ගුරුගොඩැල්ල ප්‍රාථමික පාසලයි. එතැන දරුවෝ 85 ක්. මේ පාසලට මේවනතුරු පාසල් ගීයක්, නිල ලාංඡනයක් නැහැ. අපේ බලාපොරොත්තුව ඔවුන්ගේ ඒ බලාපොරොත්තු ඉටු කර දීමයි.

2018 අලුත් වාරේ පටන් ගන්න කලින් අපි ඒ පුංචි පැටවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න සූදානමින් ඉන්නවා. ලබන ඔක්තෝබර් 15 ට කලින් ඔබටත් හැකිනම් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපට පුළුවන් ඔබේ පරිත්‍යාගයෙන් ඒ පුංචි පැටවුන්ට මොනවා හරි ගෙනියන්න.

අපට ලැබෙන සියලු දේ අපි ඔවුන්ට දෙනවා. ඉතිරි කර ගන්නේ සොදුරු මතක පමණයි.

විමසිම් - සුජිත් - 0778259468

ඡායාරූප - 2016 වසරේ කැබිතිගොල්ලෑව ප්‍රාථමිකයට දුන් පරිත්‍යාග


RECOMMEND POSTS