ඩුබායි ඕල්කට් ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායමට



ඩුබායි හි අජ්මාන් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති 10 වැනි ඕල්කට් අනුස්මරණ ශූරතා ක්‍රිකට්තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවන වතාවටත් දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයෙන් කුරුණෑගල මලියදේව විදුහල් කණ්ඩායම පරාජය කරමිනි.

අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ධර්මාශෝක කණ්ඩායම නියමිත පන්දු වාර 5 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 97ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මලියදේව කණ්ඩායමට සිය පන්දු වාර 5 අවසානයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 43ක් පමණි. ඒ අනුව ලකුණු 54ක ජයක් වාර්තා කරමින් ඕල්කට් අනුස්මරණ ශූරතාවය තමන් සතු කර ගැනීමට ධර්මාශෝක කණ්ඩායමට හැකි විය.

පළමු අවසන් පූර්ව තරගයෙන් ධර්මරාජ විදුහල පරාජය කරමින් ධර්මාශෝක විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබීය. එහි දී පළමුව පන්දුවට පහර දුන් ධර්මාශෝක කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස සිය පන්දු වාර 5 අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ධර්මරාජ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.

දෙවන අවසන් පූර්ව තරගය මලියදේව විදුහල හා නාලන්ද විදුහල අතර පැවැත්විය.

පළමුව පන්දුවට පහර දුන් නාලන්ද කණ්ඩායම කඩුලු 4කට ලකුණු 65ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මලියදේව කණ්ඩායම සිව්වන පන්දු වාරයේ දීම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 67ක් ලබා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

මෙම තරගාවලිය සඳහා ඕල්කට් පාසල් අට නියෝජනය කරමින් පහත කණ්ඩායම් සහභාගී වූහ.

කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය.

තරගාවලියේ වීරයා ධර්මාශෝක විද්‍යාලයේ නලීන් තේනුවර

හොදම පිතිකරු ධර්මාශෝක විද්‍යාලයේ පසිදු ප්‍රබාශ්

අවසන් මහ තරගයේ වීරයා ධර්මාශෝක විද්‍යාලයේ නාලක තේනුවර.

ධර්මාශෝක විද්‍යාලීය කණ්ඩායමට හිමි ශූරතාවය ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා විසින් පිරිනමන ලදී.


RECOMMEND POSTS