ඩුබායි එක්ස්පෝ සමඟ නිල ගිවිසුමක්



ශ්‍රී ලංකා රජය “ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශය” සමඟ නිල සහභාගීත්ව ගිවිසුමට ඉකුත්දා අත්සන් තබන ලදී. ඒ අනුව එම අත්සන් තැබීමත් සමග ශ්‍රී ලංකා රජය එක්ස්පෝ ඩුබායි 2020 හි නිල වශයෙන් සාමාජිකත්වය හිමි විය.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිස සමග එක්ස්පෝ - 2020 ඩුබායි හි ශ්‍රී ලංකා කොමසාරිස් ජනරාල් ලෙස ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත මහත්මිය, ඩුබායි එක්ස්පෝ - 2020 කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂ නජීබ් මොහොමඩ් අල්-අලි මහතා සමඟ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බන්ඩාර මැතිතුමා ඉදිරියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල සහභාගීත්ව ගිවිසුමට අත්සන් තැබීය.

ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට සමගාමීව නියෝජිත කණ්ඩායම එක්ස්පෝ ප්‍ර‍දර්ශනය පැවැත්වෙන ස්ථානය නැරඹීමේ අවස්ථාවද හිමි වූ අතර ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නැරඹීමට ශ්‍රී ලංකා නියෝජිතයින්ට හැකි විය.

එහිදී විශේෂ ක්‍රියාකාරකම් සාකච්ඡා කිරීම සඳහා එක්ස්පෝ තාක්ෂණික කණ්ඩායම් හමුවීමට ද නියෝජිත පිරිසට අවස්ථාව ලැබුණු අතර එක්ස්පෝ ඩුබායි හි ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම් ද මෙහිදී සිදු විය.

ශ්‍රී ලංකා දූත පිරිස පිළිගත් ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂ නජීබ් අලි මහතා, එක්ස්පෝ ඩුබායි 2020 සඳහා ඉදිකිරීම්වල ප්‍රගතිය සහ සංවිධාන කටයුතු සැපයීම පිළිබඳව විස්තර කළේය. රටවල් 192 ක් දැනටමත් සහභාගීත්වය සනාථ කර ඇති අතර එය එක් එක් රට සඳහා කැපවූ ප්‍රදර්ශන කුටි සහිත ලෝකයේ වඩාත්ම විචිත්‍ර ප්‍ර‍දර්ශනයක් ලෙසින් ඩුබායි එක්ස්පෝ 2020 සංවිධානය වනු ඇති බව ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

උත්සවය අමතමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු නලින් බණ්ඩාර මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට නව ප්‍රදර්ශන කුටියක් ලබා දීම අගය කළේය. අනාගතයේ දී ශ්‍රී ලංකාව තවදුරටත් සහයෝගීතාවයන් අපේක්ෂා කරන බව ඔහු පැහැදිලි කළ අතර නජිබ් අලි මහතාට සහ ඔහුගේ කණ්ඩායමට ළඟදීම පැවැත්වීමට නියමිත එක්ස්පෝ 2020 දියත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආරාධනා කළේය.

ශ්‍රී ලංකා පාර්ශවය විසින් මෙතෙක් සිදුකර ඇති පුළුල් වැඩ කටයුතු පිළිබඳ එක්ස්පෝ සංවිධායකයින්ට ඉන්දිරා මල්වත්ත මහත්මිය කරුණු පැහැදිලි කළාය. මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද “ජලය” තේමාව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන බව ඇය අවධාරණය කළාය.

එක්ස්පෝ 2020 ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන “මනස සම්බන්ධ කරමින් අනාගතය නිර්මාණය කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන විශාලම ප්‍රදර්ශනයයි. එමඟින් සහභාගී වන රටවල් 190 කට අධික සංඛ්‍යාවක් සහ ලොව පුරා මිලියන 25 කට අධික අමුත්තන් පිළිගැනීමට සුදානමින් ඇත. තිරසාර අනාගතයක් ජනනය කිරීම සඳහා සහයෝගයෙන් හා නව්‍යකරණයෙන් එක්ස්පෝ ඩුබායි 2020 ඔක්තෝබර් 20 සිට 2021 අප්‍රේල් 10 දක්වා දින 173 ක් පුරා පැවැත්වෙන අතර ඩුබායිහි හෙක්ටයාර් 438 ක භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වේ.

ශ්‍රී ලංකා දූත පිරිසට, ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා, අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ඩුබායි හි කොන්සල් කාර්යාලයේ නිලධාරීන් ඇතුළත් විය. මෙම දූත පිරිසට විදේශ කටයුතු අමාත්‍යංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ජාතික අපනයන මණ්ඩලය සහ ජාතික වාණිජ මණ්ඩලය නියෝජනය කරන පෞද්ගලික අංශයේ සාමාජිකයන්ගෙන් සමන්විත විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ශ්‍රී ලාංකික වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් නියෝජනය කරමින්, ඩුබායිහි ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලය සහ උතුරු එමිරේට්ස් හි වරලත් ගණකාධිකරණ නිලධාරීන්, එක්ස්පෝ 2020 ඩුබායි හි සාර්ථකත්වය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූ අතර ශ්‍රී ලංකා වෘත්තිකයින්ගේ සංගමය ද මෙම අවස්ථාවට සහභාගී විය.


RECOMMEND POSTS