කුවේටයේ ලාංකිකයෝ උද්ඝෝෂණයක



වීසා නොමැතිව නීතිවිරෝධීව කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හාරසියයකට ආසන්න  පිරිසක් යලි ශ්‍රී ලංකාවට පැමීණීම සදහා  ලිපියක් නිකුත් කරන ලෙස ඉල්ලා  එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ  උද්ඝෝෂණයක නිරතවී ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පිරිස 21 වැනිදා පෙරවරුවේ මෙම උද්ඝෝෂණයේ නිරතව ඇතැයිද පැවසේ.

මෙලෙස මෙම ලාංකිකයින් පිරිස  කොරෝනා වෛරසය නිසා කුවේටය පුරා පනවා ඇති දැඩි නීතිරීතිද නොතකමින් මෙම උද්ඝෝෂණය කළ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඇතුළු විදෙස් ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ලබා දී ඇති අතර ඔවුන්ට යළි ශ්‍රී ලංකාවට යෑමට නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දෙන බවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලිපියක් ගෙන එන ලෙසට කුවේට් රජය දැනුම් දී ඇත.

මෙම ලිපිය ලබා ගැනීම සඳහා තමන් දින කීපයක් තිස්සේ තානාපති කාර්යාලයට පැමිණී බවත් , එලෙස පෙරේදා (21) අලුයම  හතරේ සිට එහි රැඳී සිටියත් තානාපති කාර්යාලයේ එම ලාංකික ශ්‍රමිකයින් සමග කිසදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

වීසා නොමැතිව රැඳී සිටින ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් මෙම මාසය ඇතුළත එරටින් පිටවිය යුතු බවට නීති පනවා ඇතත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඊට අදාළ ලිපි ලේඛන ලබා නොදෙන්නේ යැයි එම ලාංකිකයෝ චෝදනා කර සිටිති.

මේ අතර (22 වැනිදා) එරට සිටින ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ  නිවේදනයක් නිකුත් කරමින් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේ කුවේට් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයින් දඩ මුදල් ගෙවීමකින් තොරව සියරට යැවීම සඳහා ශ්‍රී ලංකා රජය කුවේට් රජය සමඟ නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවය.

නමුත් යලි දිවයිනට  යැවීමේ ක්‍රියාවලිය ඇරඹිය හැක්කේ ලංකාව තුළ කොරොනා වෛරසය ව්‍යාප්තිය පාලනය කොට කටුනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපල විවෘත කිරීමෙන් අනතුරුව යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.


මේ සම්බන්ධව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා , කුවේට් රජයේ අග්‍රාමාත්‍ය ෂෙයික් කාලීද් අල්-හමාද් අල්-සබාහ් මහතා ඉකුත් 16 වන දින දුරකථනයෙන් සාකච්ඡා කරන ලද අතර, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා සහ විදේශ සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා  සහ  කුවේට් රජයේ විදේශ කටයුතු අමාත්‍ය අහමඩ් නාසර් අල්-මොහම්මද් අල්-සබාහ් මහතා සමඟද සාකච්ඡා කළ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දේ.

එම දුරකතන සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලාංකිකයින් සඳහා  පොදු සමා කාලය දීර්ඝ කිරීම පිළිබඳව සලකා බැලීමට එකඟ වී ඇති අතර, ඒ පිළිබඳව කුවේට් රජයේ  අපේක්ෂාවෙන් සිටින බවද තානාපති කාර්යාලය පවසයි.

යම් ලාංකිකයෙකු  ගමන් බලපත්‍ර තමන් සතු නම් කුවේට් රජය විසින් නම් කර ඇති ස්ථාන වෙත 21 වැනිදා සිට 25 දක්වා වාර්තා කළ හැකි බවත් සදහන් කර ශ්‍රී ලංකා තානිපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කුවේට් රජයේ ලියාපදිංචි වන අයට කුවේට් රජය විසින් ශ්‍රී ලංකාවට යවන තෙක් නවාතැන් සපයන නමුත්, ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල විවෘත කර සියරට පැමිණෙන්නන් භාරගැනීමට සූදානම් වන තුරු ඔවුන්ට මෙම ස්ථාන වල රැඳී සිටීමට සිදුවනු ඇති අතර වෙනත් ස්ථාන වලට ගමන් කිරීමට හෝ මාරුවීමට අවසර නොලැබෙන බවය.

විදේශ ගමන් බලපත්‍ර නොමැති අය කුවේට් බලධාරීන් විසින් භාර  නොගැනීමට ඉඩ ඇති බැවින් තානාපති කාර්යාලයෙන් දැනුම් දෙන තුරු දැනට වාසය කරන ස්ථාන වල තවදුරටත් රැඳී සිටින ලෙස  තානාපති කාර්යාලය ලාංකිකයින්ට  දැනුම් දේ.

 ගුවන් තොටුපල විවෘත කිරීමෙන් පසුව සහ විශාල පිරිසක් නිරෝධායනය කිරීමට අවශ්‍ය පහසුකම් සූදානම් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජයේ උපදෙස් පරිදි ඔබගේ ගමන් ලියවිලි නිකුත් කිරීම ආරම්භ කරන අතර ඒ සඳහා දිනයක් සහ ස්ථානයක් ඉදිරියේදී දැනුම් දීමට බලපොරොත්තු වන්නේ යැයිද කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS