ඕමාන් සුල්තාන්ට සෙත්පතා බෝධි පූජා



ඕමාන් රාජ්‍යයේ බෞද්ධ විහාරයක් ඉදිකිරීමට අවසර ලබා දුන් එරට නායක සුල්තාන් කාබුස් රජුට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමින් බෝධිපූජාවක් පැවැත්වීමට ඕමානයේ සේවයේ නියැළුණු ශ්‍රී ලාංකිකයින් ගේ එකමුතුව කටයුතු කර ඇත.

මෙම බෝධිපූජාව හෙට (18) පෙරවරු 8.30 ට බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වෙන බව එහි කැඳවුම්කරුවෙකු වන වි. රු. කුලතුංග මහතා ලංකාදීපයට පැවැසීය.

අසූ හැවිරිදි වියේ පසුවන ඕමාන් රජු එරට පන්සලක් ස්ථාපිත කිරීමට අවසරය දීම වෙනුවෙන් කළහැකි හොඳම උපහාරය ඔහුට නිදුක් නිරෝගී සුවය පැතීම වන බැවින් මෙසේ බෝධීපූජාවක් පවත්වන බව ද හෙතෙම සඳහන් කළේය.

1978 වසරේ දී කුඩා කාමරයක හොර රහසේ විහාරයක් පවත්වාගෙන යමින් වැඳුම් පිදුම් කරද්දී එවකට අගමැති හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාව සිටි සෙයිඞ් ෆහිඞ් බින් තයිමෝර් මහතා විසින් දුන් වාචික අවසරය මත එය වැඩි දියුණු කළ බවත් 2004 වන විට තානාපති කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කළහැකි වූ බවත් කුලතුංග මහතා කීය.

තයිමෝර් මහතා සුල්තාන් රජුගේ පියාගේ සහෝදරයා වන අතර ඔහුට අයත් සමාගමක භූමියේ මෙම පන්සල මුලින් ස්ථාපිත කර ඇත. 1997 වසරේ දී මාදුළුවාවේ සෝභිත හිමියන් එහි වැඩමවා දම් දෙසුමක් ද පැවැත්වූ බවත් ඉස්ලාමිය රටක මෙවැනි ආගමික නිදහසක් ලැබුණේ සුල්තාන් රජුගේ මානවවාදී ගුණය හේතුවෙන් බව ද හෙතෙම සඳහන් කළේය.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS