‘නිසර්ගා’ ඉන්දියාව කලඹයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැට කන ඉන්දියාවට ‘නෙසර්ගා’ සුළි කුණාටුවේ බලපෑම් එල්ල වී ඇත.

1948 වසරෙන් පසු මුම්බායි නුවරට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය යැයි පැවැසෙයි. පැයට කිලෝ මීටර් 120 කට වඩා වැඩි තද සුළං සහ මහ වැසි සමඟ ‘නිසර්ගා’ මුම්බායි නුවරට කඩා වැදුණේ ය.

මේ වනවිට ඉන්දියාවෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසක් හමුවී ඇත. මරණ 6,000 පසු කර තිබේ. ‘කොවිඞ් 19’ වයිරසයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයටය. ඉන්දියාවේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි අයත් වන්නේ ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයටය.

සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යාඥයන් කල්තියා අනතුරු ඇගවීමත් සමඟ මුම්බායි නුවර වෙරළාශිත අවදානම් ප්‍රදේශවල පදිංචි දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. ගස් කඩා වැටීමෙන් විදුලි බල සැපැයුමට බාධා එල්ල වී ඇති අතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මුම්බායි රයිගාඞ් දිස්ත්‍රික්කයේ විදුලි සැර වැදීමෙන් 58 හැවිරිදි තැනැත්තකු සහ 10 හැවිරිදි දරුවකු මියගිය බව වාර්තා වේ. මීට අමතරව කඩා කඩා වැටීමෙන් සහ විදුලි සැර වැදීමෙන් තවත් 14 දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.

සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් පැය කීපයකට මුම්බායි ගුවන්තොටුපොළ වසා දැමීමට ද බලධාරීහු තීරණය කළහ. ඒ, සවස 2.30 සිට රාත්‍රී 8 වනතුරුය. ඊට අමතරව ‘ජනහර්ලාල් නේරු’ කන්ටේනර් අංගනය ද පැය 24 කට වසා දැමීම සිදුවිය. ඉන්දියාවේ විශාලතම කන්ටේනර් අංගනය වන්නේ මෙයයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS