ලොව හිතකරම නගරය වියානා



ලෝකයේ ජීවත්වීමට හිතකරම නගරය ලෙස ඔස්ට්‍රියාවේ වියානා නුවර නම් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ලොව ජීවත් වීමට හිතකර නගර තෝරා ගැනීම වාර්ෂිකව සිදුවන්නේ ජනමත විමසුම් ඔස්සේය. ඒ, ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස්’ ආයතනයේ මැදිහත් වීමෙනි. ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන පවා මෙම ජනමත විමසුමට එක් වෙයි.

දේශපාලන කටයුතු සමාජීය කටයුතු අපරාධ අධ්‍යාපනය ආදී අංශ ගණනාවක් සැලකිල්ලට ගනිමින් ලොව ජීවත්වීමට සුදුසුම නගරය තෝරා ගැනීම සිදු කෙරේ. ඒ, නගර 140 ක් අතරිනි. පසුගිය වසරේ ලොව ජීවත් වීමට හිතකර ස්ථානය බවට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නම් කෙරුණි.

මේ අතර කොළඹ නගරය ‘ලොව ජීවත්වීමට සුදුසු නගර’ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හයකින් පහළට වැටී ඇත.
ඒ අනුව ලොව නගර 140ක් අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට හිමිව ඇත්තේ 130 වැනි ස්ථානයයි.

ඉකුත් මාර්තු මාසයේ දී රජය විසින් පනවන ලද හදිසි නීතිය, සිංහල බෞද්ධ සහ දෙමළ, මුස්ලිම් යන ප්‍රජා අතර ඇති වූ ගැටුම් කොළඹ නගරයේ කලබලකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වූ බවත් ශ්‍රේණිගත කිරීම් සඳහන් කරමින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එමෙන්ම සමස්ථයක් දෙස බැලීමේදී එම සිදුවීම් හා වෙනස්කම් කොළඹ නගරයේ ස්ථාවරත්වයට බලපෑම් එල්ල කළ බව ද එහි දැක්වේ.

යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ 2017 වසරේදී එම ශ්‍රේණිගත කිරීම්හි 124 වැනි ස්ථානය පැමිණීමට සමත්වූ විය. වසර 2017 දක්වා වසර පහක කාලයක් සැලකීමේදී කොළඹ නගරය සියයට 2.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබිණි.

ඉන්දියාවේ නවදිල්ලි නගරය මෙම ශ්‍රේණිගත කිරීම්වල 112 වැනි ස්ථානයටත්, නේපාලයේ කත්මණ්ඩු නගරය 129 වැනි ස්ථානයටත්, පාකිස්තානයේ කරච්චි නගරය 137 වැනි ස්ථානයටත්, බංග්ලාදේශයේ ඩකා නගරය 139ටත් පත්ව තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS