හිට්න් කෝව් මියන්මාර ජනපති ධුරය එපා කියයි



ජනාධිපති ධුරයට දැරිය නොහැකි අවුන් සාන් සූ කී, මියන්මාරයේ නිල නොවන නායිකාව ලෙස කටයුතු කරද්දී, ඇය වෙනුවෙන් නාමික ජනාධිපතිවරයකු ලෙස මියන්මාර ජනාධිපති ධුරයට පත් කෙරුණු හිට්න් කෝව්, එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

හිට්න් කෝව් යනු අවුන් සාන් සූ කීගේ පැරැණි රියැදුරා යැයි ද පැවැසෙයි. 71 හැවිරිදි වියෙහි පසුවන හිට්න් කෝව් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙයි. ඔහු ජනපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ නිසා යැයි අනුමාන කෙරේ.

සූ කී ට මියන්මාර ජනාධිපති ධුරය දැරිය නොහැකිව ඇත්තේ මියන්මාරයේ හමුදා පාලනය විසින් සකස් කරනු ලැබූ ව්‍යවස්ථාවට අනුවය. එම ව්‍යවස්ථාවට අනුව, විදේශිකයකු සමඟ විවාහ වූ අයකුට මියන්මාර ජනපති ධුරයට පත් විය නොහැක. අවුන් සාන් සූ කීගේ සැමියා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

(බී.බී.සී)

 


RECOMMEND POSTS