හමුවෙන්නේ නෑ කියපු මෝදි-ඉම්රාන් හමුවෙලා



කිර්ගිස්තානයේ බිෂ්කේක් අගනුවර පැවැති ෂැංග්ගායි සහයෝගීතා සමුළුවට සමගාමීව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අතර කෙටි පිළිසඳරක් පැවැත්වුණැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ‘කෙටි පිළිසඳරක්’ පැවැත්වූයේ සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන්ගේ ආලින්දයේදී ඉන්දීය අගමැති මෝදිට පාකිස්තාන අගමැති ඉම්රාන් හමුවුණු අවස්ථාවේදී යැයි ද පැවැසෙයි.

දේශසීමා අර්බුද හේතුවෙන් ආන්දෝලනයට ලක්වුණු ඉන්දු කාශ්මීරයේ පුල්වාමා පළාතේ පසුගිය පෙබරවාරියේ සිදුවුණු බෝම්බ ප්‍රහාරයත්, ඉන්පසු සිදුවුණු සිදුවීම් මාලාවත් මුල්කොට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතර විරසකයක් පවතී.

අවස්ථා කිහිපයකදී සාම සාකච්ඡා පවත්වමු යැයි පාකිස්තාන අගමැති ඉම්රාන්, ඉන්දීය අගමැති මෝදිට ඇරැයුම් කළේය. කෙසේ නමුත් මෝදි එම ඇරැයුම පිළිගත්තේ නැත.

කිර්ගිස්තාන සමුළුව අතරතුරේ මෝදි සහ ඉම්රාන් අතර සාම කතා නොපැවැත්වෙන බව ද ඉන්දීය අගමැති කාර්යාලය නිවේදනය කර තිබුණි. එපමණක් නොව, සමුළුව ආරම්භ වූ අවස්ථාවේදී, අගමැති මෝදි පාකිස්තාන අගමැති ඉම්රාන් මඟහැරිය බව ද වාර්තා විය.

රාජ්‍ය නායකයන්ගේ ආලින්දයේ පැවැති එම කෙටි පිළිසඳරට සාකච්ඡාවට බඳුන් වූ කරුණු කාරණා කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

පසුගිය කාලය පුරාවට ඉන්දීය අගමැති මෝදි ප්‍රමුඛ රජය තරයේ පවසා තිබුණේ සාම කතා පැවැත්වීමට පාකිස්තානයට අවංක චේතනාවක් ඇතිනම්, පාකිස්තානය පළමුවෙන් කළ යුත්තේ එරට ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය නොදැක්වීම බවය.

බිෂ්කේක්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS