සිරවුණු පතල් සේවකයෝ බේරා ගැනෙති



චීනයේ රන් ආකරයක් තුළ, සති දෙකකට වැඩි කාලයක් තිස්සේ සිරවී සිටි, පතල් සේවකයන් 20 දෙනාගෙන් 11 දෙනකු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ නිලධාරීහු සමත් වී සිටිති.

ෂැංඩොංග් පළාතේ පිහිටි හුෂාන් නමැති මෙම රන් ආකරයේ පසුගිය ජනවාරි 10 වැනිදා පිපිරීමක් සිදුවිය.

පිපිරුමෙන් පතලට පිවිසෙන මාර්ගය පස් තට්ටුවලින් මුළුමනින්ම වැසී ගියේ පතල් සේවකයන් විසි දෙදෙනකු ඒ තුළ සිර කරමිනි.
පිපිරිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මීටර් දහස් ගණනක් පොළොව යට සිරවී සිටින පතල්කරුවන් බේරා ගැනීමට කැණීම් සිදුවිය. ඒ ඉතා සෙමින් සහ පරිස්සමෙනි.
11 දෙනා එකා බැගින් ඉහළට ගෙන ඒම සිදුවිය. ඒ ඔවුන්ගේ ඇස් වසා ආවරණය කිරීමෙනි. ඒ, දින ගණනක් ඝන අඳුරේ සිටි බැවින්, ඇස්වලට හානි සිදුවීමට ඉඩ ඇති බැවිනි.

සෙසු පතල් සේවකයන් සිටින ස්ථානය මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැති බවත්, ඔවුන් සොයමින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදු කරන බවත් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

(රොයිටර්)


RECOMMEND POSTS