සියයට 70 කට එන්නත් දෙනවා



ජූලි 4 වැනිදා ඇමෙරිකාව නිදහස සමරද්දී, ඇමෙරිකානුවන්ගෙන් සියයට 70 කට, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

මේ වනවිට ඇමෙරිකාවේ 18 ට වැඩි වැඩිහිටියන් ඉලක්ක කර ගනිමින් එන්නත්කරණ වැඩසටහන පැවැත්වෙයි. ඉදිරියේ දී අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ යෞවන යෞවනියන්ට ද එන්නත් ලබා දෙනු ඇතැයි බයිඩන් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. 'එන්නත්කරණ වැඩසටහන සාර්ථකව කෙරීගෙන යනවා. දැන් අපට අලුත් ඉලක්කයක් තිබෙනවා. ඒ, ජූලි 4 නිදහස සමරද්දී සියයට 70 කට එන්නත් ලබා දීමයි එම ඉලක්කය' යැයි බයිඩන් පෙන්වා දුන්නාය.

මේ වනවිට ඇමෙරිකානුවන්ට ලබා දෙන 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් අද ලොව භාවිතයට ගන්නා අතුරුආබාධ අවම සාර්ථක එන්නත් වර්ග දෙකකි. 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් සියයට 95 ට වඩා සාර්ථක වන අතර මාත්‍රා දෙකකින් ද සමන්විතය. 'ෆයිසර්' සමාගම පවසා ඇත්තේ මාත්‍රා 3 කින් එන්නත ලබා ගන්නේ නම්, ඕනෑම කොරෝනා විකෘති වයිරස ප්‍රභේදයකින් ද ආරක්ෂා විය හැකි බවය.

මේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 105 කට එන්නත් ලබා දී අවසන් යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත. දිනකට ඇමෙරිකානුවන් මිලියනයකට එන්නත් ලබා දීම සිදු කෙරෙන බව ද වාර්තා වේ. තවමත් ඇමෙරිකානුවන් වැඩි දෙනා එන්නත් ලබා ගැනීමට අදිමදි කරන අතර, ඔවුන් කෙසේ හෝ එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපති බයිඩන් වැඩිදුරටත් පවසා ඇත.

තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වුවත්, එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්ට හැකියාව ලැබී ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS