සිංගප්පූරු මැතිවරණය ඇරැඹේ



‘කොවිඞ් 19’ වයිරස තර්ජන මැද, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය අද (9) ආරම්භ වෙයි.

මැතිවරණය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන්, සෞඛ්‍ය අංශ මැදිහත් වී ජනතාවට උපදෙස් මාලාවක් ලබා දී තිබුණි. ඒ අනුව, සමාජ දුරස්ථභාවය ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීම සිදුවිය.

ඡන්ද පොළට පැමිණෙද්දී මුහුණු ආවරණ පලඳින මෙන් උපදෙස් දී තිබුණි.

ඡන්ද පොළට ඇතුළු වෙද්දී, සැමගේ උෂ්ණත්වය පරීක්ෂා කෙරුණු අතර, ඉන්පසු දෑත් සොදා පැලැඳීමට අත් ආවරණ (ග්ලව්ස්) බෙදා දෙනු ලැබුණි. ඡන්ද පත්‍රිකාව ලබා දීම සිදුවූයේ ඉන්පසුවය.

‘කොවිඞ් 19’ ආසාදිතයන්, ආසාදිතයන් යැයි සැක කරන පුද්ගලයන්, නිරෝධායනය වී සිටින පුද්ගලයන් වෙනුවෙන් ජංගම ඡන්ද පොළ ක්‍රියාක්මක කිරීමට මැතිවරණ බලධාරීහු කටයුතු කර තිබුණාහ.

විදේශවලින් පැමිණ නිරෝධායනය වී හෝටල්වලට කොටුවූවන් ද ඡන්දය ප්‍රකාශ කළේ මෙවැනි ජංගම ඡන්ද පොළ හරහාය.

ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි කාලයක් ලබා දී තිබුණේ ජනතාව පෝලිම් ගැසීම වැලැක්වීමටය.

සිංගප්පූරුවේ අවුරුදු 21 කට වැඩි සියලුම දෙනා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වෙයි. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ගණන මිලියන 2.65 කි.

ආසියානු පැසිෆික් කලාපීය රටවල් අතරින්, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන රටක් ලෙස සිංගප්පූරුව සැලකෙයි. සිංගප්පූරුවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 45,000 ඉක්මවා තිබේ.

සිංගප්පූරුවේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS