ස්වාසිලන්ත රජු රටේ නම වෙනස් කරලා



මහා ලන්ඩන් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙමින්, ස්වාසිලන්තයේ තුන්වැනි ම්ස්වාති රජු නිවේදනය කළේ ස්වාසිලන්තයේ නම ‘ඊස්වාතිනි’ ලෙස වෙනස් කරන බවය.

ස්වාසිලන්තය අප්‍රිකාවට අයත් කුඩා රටකි.  අප්‍රිකාවේ අවසන් පූර්ණ රාජාණ්ඩු පාලනයක් සහිත රට ලෙස සැළකෙන්නේ ද ස්වාසිලන්තයයි.

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 50 ක් පිරීම නිමිත්තෙන්, රටේ නම ‘ඊස්වාතිනි’ ලෙස වෙනස් කරන බව රජු වැඩි දුරටත් පවසා ඇත. 50 වැනි නිදහස සැමරුම වෙනුවෙන්,  ස්වාසිල්නතයේ මන්සිනි නුවර නිදහස් දින සැමරුම් උත්සවයක් ද පැවැත්විණි. ඒ, ඊයේ (19) වැනිදාය. ම්ස්වාති රජුගේ 50 වැනි උපන්දිනය යෙදී තිබුණේ ද එදිනටය.

ස්වාසි භාෂාවෙන් ‘ඊස්වාතිනි’ යන්නේ අදහස ‘ස්වාසිවරුන්ගේ භූමිය’ යන්නයි.  රටේ නම, ‘ඊස්වාතිනි’ ලෙස නම් කිරීමට තුන්වැනි ම්ස්වාටි රජු අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ අතර ප්‍රධාන උත්සව කිහිපයකදීම ඒ බව කර තිබුණැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

පසුගිය වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහ මණ්ඩල සැසියේදී සහ අප්‍රිකා සංගමයේ වාර්ෂික සැසිවාරවලදීද තුන්වැනි ම්ස්වාටි රජු ස්වාසිලන්තය වෙනුවට ‘ඊස්වාතිනි’ නම භාවිත කළේ යැයි ද වාර්තා වේ.

ස්වාසිලන්තය මෙසේ ‘ඊස්වාතිනි’ යනුවෙන් වෙනස් කිරීමට රජු පියවර ගෙන ඇත්තේ, ස්වාසිලන්තය යන නම ස්විට්සර්ලන්තය සමඟ පටැළෙන නිසා යැයි ම්ස්වාටි රජු පැහැදිලි කර තිබේ.

ස්වාසිලන්තය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයක් වුවත් දරිද්‍රතාවෙන් මිරිකුණු රාජ්‍යයකි. ස්වාසිලන්තය රාජ්‍යය බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ 1968 වසරේදීය.

රටේ පුරවැසියන් දිළිඳුබවින් පෙළෙද්දී, සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නේ යැයි තුන්වැනි ම්ස්වාති රජු නිරන්තරයෙන් විවේචනයට ලක්වෙයි. තුන්වැනි ම්ස්වාටි රජු රාජාභිෂේක ලැබුවේ 1986 වසරේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 18ක් විය. මැතිවරණවලට තරග වැදීම දේශපාලන පක්ෂවලට තහනම් වන අතර රජුට පක්ෂපාතී නායකයන්ට පමණක් නිලතල හිමිවන බව පැවසේ. ස්වාසිලන්තය පාලනය වන්නේ රාජ ආඥාව යටතේය.

ස්වාසිලන්තය දකුණු අප්‍රිකාව සහ මොසැම්බික් අතර පිහිටි භූමියෙන් වට වූ කුඩා භූමි ප්‍රදේශයකි. එහි ජනගහනය මිලියන 1.3ක් වන අතර රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් එච්.අයි.වී ආසාදනයෙන් පෙළෙන අතර එය ලොව ඉහළම ජනගහනයට සාපේක්ෂව ලොව ඉහළම එච්.අයි.වී ආසාදිතයන්ගේ ප්‍රතිශතය බව ද පැවැසෙයි. එරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 27ක් එච්.අයි.වී ආසාදිතයෝ වෙති.

රටේ නම වෙනස් කිරීමත් සමඟ ව්‍යවස්ථාව නැවත සකස් කිරීමේ  අවශ්‍යාතවක් මතුව ඇතැයි ද රාජකීය ස්වාසිලන්ත පොලිස් බලකාය, ස්වාසිලන්ත ආරක්ෂක බලාකය සහ ස්වාසිලන්ත විශ්වවිද්‍යාලය යනාදියේ ද නම් වෙනස් වීමට සිදුවනු ඇතැයි ද  වාර්තා වේ.

නිදහසින් පසු අප්‍රිකාවේ බොහෝ රටවල් එම කාලවලදීම නම් වෙනස් කළේය. රොඬේෂියාව, සිම්බාබ්වේ ලෙසත්, න්යසලන්තය, මලාවි ලෙසත්, බිකුආනාලන්තය, බොට්ස්වානා ලෙසත් නම් වෙනස් කරගෙන ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS