විස කිරිපිටි නිසා ආන්දෝලනයක්



ප්‍රංශ ළදරු කිරිපිටි නිෂ්පාදන සමාගමක කිරිපිටිවල තිබී මාරක ක්ෂුද්‍රජීවීන් විශේෂයක් හමුවීමත් සමඟ මේ වනවිට මහත් ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.

 ක්ෂුද්‍රජීවීන් හමුවී ඇත්තේ ‘ලැක්ටේලිස්’ නමැති ප්‍රංශ කිරිපිටි නිෂ්පාදන සමාගමේ කිරිපිටිවල බවත්, එම ක්ෂුද්‍ර ජීවීන් සිටිනවා යැයි සැක කෙරෙන කිරිපිටි අංගු ඇසුරුම් මිලියන 12 ක් එම සමාගම යුරෝපා රටවල් ඇතුළු වෙනත් රටවල් 86 කට විකිණීම සිදු කර ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

 ක්ෂුද්‍රජීවීන් ඇතැයි සෞඛ්‍ය පරීක්ෂකයන් විසින් සොයා ගනු ලැබුවේ කිරිපිටි නිසා රෝගී වුණු ළදරුවන් හමුවීමත්, වෛද්‍යවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් හේතුවෙනි. ප්‍රංශ පුවත් සේවා වාර්තා කර ඇත්තේ රෝගී වුණු ළදරුවන් 25 දෙනකු ගැන ප්‍රංශයේ ප්‍රධාන නගර රැසකින් වාර්තා වී ඇති බවය.

ප්‍රංශ පොලිසිය වහා ක්‍රියාත්මක වී, වයඹදිග ප්‍රංශයේ කැයොන්හි පිහිටි කිරිපිටි නිෂ්පාදන කම්හල වැටැලූ අතර එය මේ වනවිට වසා දමා ඇතැයි ද පැවැසෙයි. මාරක ක්ෂුද්‍රජීවී විශේෂය, කිරිපිටිවලට මුසුවී ඇතැයි සැක කෙරෙන්නේ සේවකයන්ගේ අත්වැරදීමකින් යැයි ද සැක කෙරේ.

තම කිරිපිටිවල කිසිදු අහිතකර දෙයක් නැති බව ‘ලැක්ටේලිස්’ කිරිපිටි නිෂ්පාදන සමාගමේ බලධාරීහු තරයේ කියා සිටිති. පොලිස් පරීක්ෂණයක් සිදුවන බවත්, එම පරීක්ෂණයට සම්පූර්ණ සහාය ලබා දෙන බවත් ‘ලැක්ටේලිස්’ සමාගම වෙනුවෙන් එහි ප්‍රකාශිකා මයිකල් නැලේ කියා සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS