ලෝකයට අලුතින් රටක් එක්වන ළකුණු



පැපුවා නිව් ගිනියාවට අයත්, බොගේන්විල් දූපත් සමූහයේ ජනමත විමසුමක් පැවැත්වීමට නියමිතය. ඒ, පැපුවා නිව් ගිනියාවෙන් නිදහස් වී වෙනම රාජ්‍යයක් වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමටය.

ජනමත විමසුමට සහභාගී වී ඡන්දය දැමීමට, ලක්ෂ 2 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටින බව ද පැවැසෙයි. ජනමත විමසුමේ පළමු වටය 23 පැවැත්වෙයි. දෙවැනි වටය පැවැත්වෙනු ඇත්තේ ලබන දෙසැම්බර් 7 වැනිදාය.

බොගේන්විල් දූපත් සමූහය පිහිටා ඇත්තේ පැපුවා නිව් ගිනියාවට නැගෙනහිරිනි. මෙම දූපත් සමූහය සම්පත්වලින් බහුල වන අතර සංචාරකයන් අතරේ ප්‍රසිද්ධය. බොගේන්විල් දූපත් සමූහයේ ප්‍රධාන දූපත ද බොගේන්විල් ය. එහි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 9,318 කි. 2011 වසරේ ලෝක බැංකු වාර්තා අනුව ජනගහනය 2,34,280 කි.

දූපත් සමූහයතින් සුසැදි පැපුවා නිව්ගිනියාව පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ නිරිත දෙසිනි. 2017 ලෝක බැංකු වාර්තා අනුව පැපුවා නිව් ගිනියාවේ ජනගහනය මිලියන 8.251 කි. පැපුවා නිව්ගිනියාව ද සංචාරක ආකර්ශණයකි.

පැපුවා නිව්ගිනියාව සහ බොගේන්විල් දූපත් සමූහයේ වැසියන් අතරේ වසර ගණනාවක් ගැටුම් පැවැතිණි. එම සිවිල් ගැටුම් අවසන් වූයේ සාම සැලැස්මකට අනුවය. සාම සැලැස්ම ක්‍රියාත්මක වී වසර 18 ක් ගත වී අවසන් ය. බොගේන්විල් දූපත් සමූහය, පැපුවා නිව්ගිනියාවේ කොටසක් බවට පත් වූයේ සාම සැලැස්මට අනුවය.

කෙසේ නමුත් මේ වනවිට බොගේන්විල් දූපත් වැසියන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ දූපත් සඳහා ස්වං පාලනයක් හෝ බොගේන්විල් දූපත් සමූහය වෙනම රාජ්‍යයක් බවට හෝ පත් කරන ලෙසය. ජනමත විමසුම පැවැත්වෙන්නේ ඒ අනුවය. වෙනම රාජ්‍යයක් වීමට අවශ්‍ය යැයි බොගේන්විල් දූපත් වැසියන් කැමැත්ත පළ කළොත්, ලෝක සිතියමට අලුතින් දූපත් රාජ්‍යයක් එක් වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බොගේන්විල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS