ලොව පුරා එන්නත් 44 ක් අත්හදා බලනවා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නැසීමට මේ වනවිට ලොව පුරා රටවල් රැසක ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ ආයතනවල එන්නත් 44 ක් නිර්මාණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ආසාදිතයන්ගේ සිරුරේ වයිරසය විනාශ කිරීමටත්, වයිරසය ආසාදනය වීම වැළැක්වීමටත්, මෙසේ එන්නත් නිර්මාණය වෙමින්  පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

බැක්ටීරියා ආසාදනවලට මෙන් නොව, වයිරස ආසාදනවලට බෙහෙත් නොමැත. ඊට හේතුව වයිරස ආසාදන මනුෂ්‍යයන් අතරේ බෝ වෙමින් පැතිරෙන්නේ, විකෘති වෙමිනි. ‘කොවිඞ් 19’ සඳහා එන්නතක් නිපදවීම අසීරු වී ඇත්තේ මේ නිසාය.

කෙසේ නමුත්, ‘කොවිඞ් 19’ වයිරසයේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත. එපමණක් නොව, වයිරසය කෘත්‍රිමය නිපදවීමට ඕස්ටේ්‍රලියානු වෛද්‍ය පර්යේෂකයන් සමත් වී ඇත.

ඒ අනුව, ‘කොවිඞ් 19’ සඳහා එන්නතක් නිර්මාණය වනු ඇති බවත්, ඒ සඳහා තව මාස 6 ක් හෝ අවුරුද්දක් හෝ ගත වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා තිබේ.
‘කොවිඞ් 19’ වයිරසය නිසා සංකූලතා ඇතිවෙයි. ආසාදිතයන් බොහෝ දෙනකු මියයන්නේ පෙනහලු ආසාදනය වී නිව්මෝනියා තත්ත්වයෙනි. මෙම සංකූලතා මඟහරවා ගැනීමට විවිධාකාරයේ ඖෂධ ලබා දීමක් සිදුවෙයි.

ඒ සියල්ලටම වඩා සාර්ථක වී ඇත්තේ රුධිර ප්ලාස්මා ප්‍රතිකර්මයයි. වයිරසය ආසාදනය වී සුව වූ පුද්ගලයන්ගේ රුධිර භාවිතයට ගනිමින් රුධිර ප්ලාස්මා ප්‍රතිකර්මය සිදු කරයි.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS