ලේ කැටි ගැසී බ්‍රිතාන්‍යයේ 7 ක් මැරිලා



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා ගත් බ්‍රිතාන්‍ය වැසියන් 30 දෙනකු ලේ කැටි ගැසී රෝහල්ගත කර ඇති බවත්, ඔවුන්ගෙන් 7 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසන ආකාරයට මේ වනවිට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් මාත්‍රා මිලියන 18 කට වඩා එරට වැසියන්ට ලබා දී අවසන්ය.

ලේ කැටි ගැසීම මුල්කොට ගනිමින්, කැනඩාව සහ ජර්මනියේ බර්ලීන් ප්‍රාන්තය මේ වනවිට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට ලබා දෙන්නේ නැත.

කැනඩාවේත්, ජර්මනියේ බර්ලීන් ප්‍රාන්තයේත් 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා දීම සිදුවන්නේ 55 ට අඩු පුද්ගලයන් සඳහා පමණක් යැයි සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කරනු ලැබ තිබේ.

මේ අතර, විදෙස් පුවත් සේවා වාර්තා කරන අන්දමට නෙදර්ලන්තය ද 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්න ලබා දීම අත්හිටුවා දමා ඇත. ඒ, එන්නත ලබා ගැනීමෙන් පසු, බොහෝ දෙනකුගේ ලේ කැටි ගැසීම් ඇති වුණු බැවිනි.

ඕස්ට්‍රේලියාවෙන් ද ලේ කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වුවත්, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත දිගටම ලබා දෙන බව ඕස්ට්‍රේලියා සෞඛ්‍ය බලධාරීහු කියති.

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා ගැනීමෙන් ලේ කැටි ගැසීමක් වාර්තා වන්නේ 44 වැනි මෙල්බර්න් නුවර පදිංචි ඕස්ට්‍රේලියානුවකුගෙනි. ඔහු කඩිනමින් රෝහල්ගත කෙරුණු බවත් ඔහුගේ ජීවිතයට අනතුරක් නැති බවත් වාර්තා වේ.

එම සිදුවීමෙන් පසු ඕස්ට්‍රේලියා එන්නත්කරණ කටයුතු පිළිබඳ උපදේශන කමිටුව රැස්වී සාකච්ඡා පවත්වන ලදී. එහිදී තීරණය වූයේ නොකඩවා 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා දීමටය.

 

(රොයිටර්)


RECOMMEND POSTS