ලන්ඩනයට ආ ට‍්‍රක් රියක මළසිරුරු 39 ක්



නැගෙනහිර ලන්ඩනයේ එසෙක්ස් ප‍්‍රාන්තයේ කන්ටේනර් ට‍්‍රක් රියකින් මළසිරුරු 39 ක් හමුවීමත් සමඟ බි‍්‍රතාන්‍ය පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළේය.

මෙම ට‍්‍රක් රථය වේල්සයේ හෝලිහෙඞ් හරහා බි‍්‍රතාන්‍යයට ඇතුළු වී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ට‍්‍රක් රියේ රියදුරා 25 හැවිරිදි තරුණයකු බවත් ඔහු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන බවත් පොලිසිය පවසා ඇත. රියැදුරා උතුරු අයර්ලන්ත වැසියකු බව ද පැවැසෙයි.

ට‍්‍රක් රිය, ගැරීස් පළාතේ වෝටර්ග්ලේඞ් නර්මාන්ත පුරයට පැමිණි අවස්ථාවේදී එය සෝදිසි කිරීමකට ලක් විය. කන්ටේනරයේ පිරිසක් සිටින බව දැනගත් සැණින් වෛද්‍ය ආධාරකරුවන් එහි ගෙන්වා ඇත. කෙසේ නමුත් ට‍්‍රක් රියේ ඇත්තේ මළසිරුරු බව තහවුරුවීමෙන් පසු වෛද්‍ය ආධාරකරුවන් පොලිසියට ඒ බව දන්වා ඇත. පොලිසිය පැමිණ මාර්ග වසා දමා ට‍්‍රක් රිය පරීක්ෂා කිරීම ආරම්භ කළේ ඒ අනුවය.

මියගොස් සිටි 39 දෙනාගෙන් 38 දෙනකු වැඩිහිටියන් බවත්, ඉතිරි තැනැත්තා ගැටවරයකු බවත් පොලිසිය පවසා ඇත. මියගිය පුද්ගලයන් කවුරුන්දැයි කියා මෙතෙක් හඳුනාගෙන නැති බවත් විමර්ශන කටයුතු දිගටම සිදු කරන බවත් පොලිසිය මාධ්‍ය හමුවේ පවසා තිබේ.

මළසිරුරු හමුවීමේ සිදුවීම සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත්වුණැයි බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබේ. පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ද අගමැතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇතැයි ද පැවැසෙයි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)
හර්ෂණ තුෂාර සිල්වා

RECOMMEND POSTS