මෝදි ට්‍රම්ප්ට ඇරැයුම් කරලා නෑ



කාශ්මීර අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වෙන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කිසිම අවස්ථාවක ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් නොකළ බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අවධාරණය කර තිබේ.

කාශ්මීර අර්බුදය විසඳන්න මැදිහත් වෙන්නැයි ඉන්දීය අගමැති මෝදි පැවැසූ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය මුල්කොට ගනිමින් ඉන්දීය ලෝක් සභාවේ (ඉන්දීය පාර්ලිමේන්තුව) පමණක් නොව, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) ද මහත් ආන්දෝලනයක් නිර්මාණය විය.

රාජ්‍යසභා මන්ත්‍රීවරුන් අමතමින්, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අවධාරණය කළේ අගමැති මෝදි කිසිම අවස්ථාවක, කාශ්මීර අර්බුදයට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදිහත් කර නොගන්නා බවත් ඉන්දීය අගමැති මෝදි එවැනි ඉල්ලීමක් කර නැති බවත්ය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හිතුමතේ ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීම පිළිබඳ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් මන්ත්‍රී බ්‍රැඞ් ෂර්මන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, වොෂින්ටන් නුවර ඉන්දීය තානාපති හර්ෂ් ශ්‍රිංගාලාට සිය කනගාටුව පළ කර ඇතැයි ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඩිමොක්‍රටික් මන්ත්‍රී බ්‍රැඞ් ෂර්මන් ඇමෙරිකා රජයේ ආසියානු කටයුතු සම්බන්ධ කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි. කාශ්මීර අර්බුදය ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් බවත්, එම අර්බුදයට සාමකාමී විසඳුම් සෙවීම කළ යුත්තේ ඉන්දියාවත් පාකිස්තානයත් බවත් ඩිමොක්‍රටික් මන්ත්‍රී බ්‍රැඞ් සිට ව්ටිටර් පණිවුඩය හරහා පෙන්වා දී ඇත.

මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ට්විටර් පණිවුඩයකින් පවසා ඇත්තේ, කාශ්මීර අර්බුදයට ඉන්දියාවට සහ පාකිස්තානයට පමණක් සීමා වූ අර්බුදයක් නොවන බවත්, දිනෙන් දින ඔඩුදුවන අර්බුදය විසඳීමට නම්, ජාත්‍යන්තරයේ මැදිහත් වීම අවශ්‍ය බවට තමන් විශ්වාස කරන බවත්ය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS