මිහිකත සුරකින්නැයි ලොව පුරා උද්ඝෝෂණයක්



මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින වැනසෙන මිහිකත සුරැකීමට වහා පියවර ගන්නැයි ලෝක බලතුන්ට බලකරමින් දැවැන්ත උද්ඝෝෂණ රැලි මාලාවක් රටවල් රැසක පැවැත්විණි.

ලොකු කුඩා මිලියන ගණනක් මෙම උද්ඝෝෂණ රැලි සඳහා එක්වූ සිටි බව වාර්තා වේ. පරිසරය සුරැකීම වෙනුවෙන් ඇරැඹුණු මෙම උද්ඝෝෂණය රැලි නම් කර ඇත්තේ ‘ග්ලෝබල් ක්ලයිමේට් ස්ට්‍රයික්’ යනුවෙනි. මින් ඉදිරියට සෑම සිකුරාදා දිනකම උද්ඝෝෂණ රැලි පැවැත්වීමට කටයුතු කරන බව සංවිධායකයෝ පවසති.

උද්ඝෝෂණ ආරම්භ වූයේ ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි නුවරිනි. ඊට සමගාමීව ආසියානු කලාපයට අයත් පැසිෆික් සාගර කලාපීය දූපත් රටවල ද, ඉන්දුනීසියාවේ ද අප්‍රිකානු රටවල් කිහිපයක ද ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ද උද්ඝෝෂණ පැවැත්විණි.

උද්ඝෝෂණ සංවිධානය කරනු ලැබ තිබුණේ පරිසර සුරැකීමේ සංවිධාන සහ පරිසරවේදීන්ගේ එකමුතුවෙනි. විරෝධතා පුවර රැගෙන පාසල් සිසුන් දස දහස් ගණනින් උද්ඝෝෂණවලට එක් වී සිටි බව විදෙස් පුවත් සේවා වාර්තා පෙන්වා දෙයි.
මිහිකත සුරැකීම වෙනුවෙන් නව නීති සකස් කළ යුතු බව ලෝකයේ බලවත් රටවල නායකයන්ට බල කිරීම මෙම උද්ඝෝෂණ රැලිවල ප්‍රධාන අරමුණ විය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මිහිකත සුරැකීම වෙනුවෙන්, මීට පෙර මේ ආකාරයේ උද්ඝෝෂණ රැලි පවත්වා නැති බවය. පෘථිවියේ එක් පෙනහැල්ලක් සැලකෙන්නේ ඇමසන් වනාන්තරයයි.

දෙවැනි පෙනහැල්ල කොංගෝ ද්‍රෝණියේ පිහිටා ඇති මහා වනාන්තරය සැලකෙයි. මෙම වනාන්තර දෙකම පසුගිය කාලයේ මහා ළැව් ගිනිවලින් දැවී ගියේ අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. මේ වනවිට ඉන්දුනීසියාවේ වනාන්තරවල ද ළැව් ගිනි පැතිර යමින් පවතී.

එම ළැව් ගිනිවලින් නැගෙන දුමාරයෙන් අසල්වැසියෝ මැලේසියාවේත් සිංගප්පූරුවේත් වැසියන් දැඩි අපහසුතාවට පත් වී සිටිති. විස දුමාරය හේතුවෙන් මැලේසියාවේ සහ සිංගප්පූරුවේ පාසල් වසා දැමීමට පවා බලධාරීන්ට සිදුවී ඇත.

පරිසරය සුරැකීම වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ස්වීඩන ජාතික ග්‍රෙටා තුන්බර්ග් මේ වනවිට ඇමෙරිකාවට පැමිණ සිටින්නීය. ඇය ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) පරිසරය සුරැකීමේ විශේෂ කමිටුවක් හමුවට ගොස් පරිසරය සුරැකීමට ඇති වැදගත්කම පිළිබඳ පැහැදිලි කළාය.

ග්‍රෙටා තුන්බර්ග් ඇමෙරිකාවට පැමිණ සිටින්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් පරිසරය සුරැකීම කෙරෙහි අවධානය යොමු කිරීමට ලෝක නායකයන් පොළොඹවා ගැනීමටය.  ග්‍රෙටා ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේ, ඇයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා හමුවීමට ද අවස්ථාවක් උදා විය. ඇමෙරිකා ජනාධිපති ඔබාමා ද පරිසරහිතකාමිවෙකි. ඔබාමා ගෝලීය උණුසුම අවම කිරීම වෙනුවෙන්, ගත් ක්‍රියාමාර්ග රැසක් වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවලංගු කර ඇත.

ග්‍රෙටා දැරියට අනුග්‍රහය දක්වන්නේ, පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධාන කිහිපයකි. ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැත්වුණු උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ ග්‍රෙටා තුන්බර්ග් සහ ඇමෙරිකාවේ පරිසරය සුරැකීමේ සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙනි.

සිඞ්නි නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS