බොලිවියා ජනපතිනී ඇනේස්ට කොරෝනා



බොලීවියාවේ අන්තර්වාර ජනාධිපතිනිය ජැනීන් ඇනේස් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී තිබේ.

‘මා ආසාදිතයකු බව තහවුරු වුණා. දැන් මා හුදෙකලා වී ඉන්නවා. පැවැරුණු වැඩ රාජකාරි දිගටම කරගෙන යනවා.’ යැයි දින 14 ක් නිරෝධායනය කෙරුණු 53 හැවිරිදි ජනපතිනිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත. යළි දින 14 කින් ජනපතිනිය යළිත් කොරෝනා පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත යැයි බොලිවියා සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ජැනීන් ඇනේස් ‘කොවිඞ් 19’ ආසාදිතයකු වීමට පෙර බොලීවියා කැබිනට් මණ්ඩල සාමාජිකයන් සිවු දෙනකු ද ආසාදිතයන් බව තහවුරු විය.  ජැනීන් ඇනේස් බොලිවියාවේ අන්තර්වාර ජනාධිපතිනිය ලෙස කටයුතු කරන්නේ ජනපති ධුරයේ සිටි ඊවෝ මොරාලේස් දේශපාලන කුමන්ත්‍රණයකින් බලයෙන් නෙරපා දැමීමෙන් පසුවය.

එලැඹෙන සැප්තැම්බරයේ බොලිවියාවේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. වයිරස වසංගතය හමුවේ, මැතිවරණය පැවැත්වීම අවදානම් යැයි ජනාධිපතිනී ජැනීන් ඇනේස් පැවැසුවත්, පක්ෂ නායකයන්ගෙන් සහ විපක්ෂයෙන් එල්ල වුණු බලපෑම් හමුවේ එම අදහස වෙනස් කළාය. ‘කොවිඞ් 19’ වසංගතය හමුවේ වුවත් මහ මැතිවරණය පැවැත්වීමට සිදුවන බවත්, එසේ නොකළොත් රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත් පැවැසෙයි.

බොලීවියා යනු ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. ඇමෙරිකාවට පසු ‘කොවිඞ් 19’ වයිරසය දරුණු ලෙස ව්‍යාප්ත වන්නේ ලතින් ඇමෙරිකා රටවලය. ලොව දෙවැනියට වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

බොලිවියාවේ ජනගහනය මිලියන 11 ක් වන අතර, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 43,000 ක් එරටින් වාර්තා වෙයි. බොලිවියාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ ගණන 1,500 කි.

ලා පාස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS