බොලිවියා ජනපති ඉල්ලා අස්වෙයි



දිගින් දිගටම එල්ල වූ ජනතා විරෝධය හමුවේ, වසර 14 කට ආසන්න කාලයක් බොලිවියාවේ ජනපතිවරයා ලෙස කටයුතු කළ ඊවෝ මොරාලේස් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

බොලිවියාව ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. ස්වදේශීය ගෝත්‍රික වැසියන් නියෝජනය කරන අයකු ලෙස ඊවෝ මොරාලේස් බොලිවියාවේ ජනපති ධුරයට පත්වූයේ 2006 පැවැති ජනාධිපතිවරණයෙනි. බොලිවියාවේ ජනපති ධුරයට පත් පළමු ස්වදේශික ජනපතිවරයා වන්නේ ද මොරාලේස්ය.

පසුගිය මාසයේ බොලිවියා ජනපතිවරණයට 60 හැවිරිදි මොරාලේස් ඉදිරිපත් වූ අතර මොරාලේස්ට ජයග්‍රහණය හිමිවිය. මැතිවරණ අක්‍රමිකතා සිදුවුණු බවට මැතිවරණ බලධාරීන් පැමිණිලි නගන්න වූ අතර, විපක්ෂ දේශපාලන  කණ්ඩායම් මැතිවරණ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. ජනපති මොරාලේස් කියා සිටියේ තමන් බලයෙන් නෙරපා දැමීමට දේශපාලන කුමන්ත්‍රණයක් සිදුවන බවය. කෙසේ නමුත් අවසානයේ අධිකරණය තීන්දු කළේ මොරාලේස් ජනපතිවරණය ජයග්‍රහණය කළ බවය.

මොරාලේස්ට එරෙහිව බොලිවියාව පුරා විරෝධතා රැල්ලක් නැගී ආවේ ඉන්පසුවය. මිලියන ගණනින් බොලාවියා වැසියෝ මොරාලෝස්ට එරෙහිව විරෝධතා පවත්වන්න වූහ.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් විරෝධතා සංවිධානය කළේය. එම විරෝධතා මර්දනය කිරීමට ජනපති මොරාලේස් උත්සාහ කළ ද එය අසාර්ථක වූ අතර, බොලිවියා හමුදාව කියා සිටියේ තමන්ගේ සහාය ද විරෝධතාකරුවන්ට ලබා දෙන බවය.

වහා ධුරයෙන් ඉවත් වෙන්නැයි හමුදාපති ජනරාල් විලියම්ස් කලීමාන්  ද ජනපති මෙරාලොස්ට බලපෑම් එල්ල විය. රටේ ස්ථාවරභාවය සුරැකීම වෙනුවෙන් ධුරයෙන් ඉවත් වන්නැයි හමුදාව මොරාලේස්ට පැවැසූ බව බොලිවියා පුවත් සේවා වාර්තා කර තිබේ. ඒ අනුව, ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ මොරාලේස් තමන් ධුරයෙන් ඉවත් වන බව කියා සිටියේය.

ජනපති මොරාලේස් සමඟ උප ජනපති ධුරයේ කටයුතු කළ අල්වාරෝ ගාසියා ලිනේරා සහ සෙනෙට් මණ්ඩල සභාපති ලෙස කටයුතු කළ ඒඩි්‍රයානා සැල්වෙටියේරා ද ඉල්ලා අස්වූ බව බොලිවියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ජනපති මොරාලේස් ධුරයෙන් ඉවත් බව පැවැසීමත් සමඟ වීදි බැස විරෝධතා පවත්වන්න වූ මිලියන ගණනක් විරෝධතාකරුවෝ බොලිවියා ධජ වනමින් ප්‍රීති ඝෝෂා කරන්න වූහ.

ප්‍රජාතන්ත්‍රවාදී ජනපතිවරයකු ලෙස ජනතා ආදරයට පාත්‍ර වුණු මොරාලේස් අවසානයේ ජනපති ධුර කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ දරමින්, ඒකාධිපති පාලන ස්වරූපයක් ගෙන යෑමට උත්සාහ කළ බව බොලිවියා විපක්ෂ නායක කාලෝස් මෙසා පවසා ඇත. පසුගිය මාසයේ පැවැති ජනපතිවරණයේ දී දෙවැනි ස්ථානයට පත් වූයේ කාලෝස් මෙසා ය.

ලා පාස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS