බෙල්ජියමට කොරෝනා සුනාමියක්



අනපේක්ෂිත අයුරින් බෙල්ජියමේ කොරෝනා ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇති බවත්, පසුගිය පැය 24 ඇතුළත කොරෝනා ආසාදිතයෝ 10,000 ක් වාර්තා වූ බවත් බෙල්ජියම් සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

මෙය බෙල්ජියමේ දෙවැනි කොරෝනා රැල්ල බවත්, එය බෙල්ජියමට කඩා වැදුණු සුනාමියක් බවත් එරට සෞඛ්‍ය ඇමැති ෆ්රෑන්ක් වොන්දෙන්බෲකර් මාධ්‍ය හමුවේ නිවේදනය කළේය. ආසාදිතයන් වැඩිවෙද්දී, නිරෝධායන නීති යළි ක්‍රියාත්මක කිරීමටත්, තහංචි පනවමින් සංචරණ කටයුතු සීමා කිරීමටත් බෙල්ජියම් රජය පියවර ගෙන තිබේ.

සෙසු යුරෝපා රටවල් මෙන්ම, බෙල්ජිමේ ද කොවිඩ් 19 කොරෝනා වයිරසයේ පළමු රැල්ල ඇරැඹුණේ පෙබරවාරි 15 වැනිදාය. මාර්තු 26 වැනිදා සිට මැයි 5 වැනිදා වනවිට සමාජයෙන් ආසාදිතයන් වේගයෙන් වාර්තා වුවත්, නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීමට ජනතාව කටයුතු කිරීම, මුහුණු ආවරණ පැලඳීම සහ දෑත් පිරිසුදුව තබා ගැනීම ආදී සෞඛ්‍ය පුරුදු හේතුවෙන් මාර්තු 5 වැනිදා සිට වයිරසය ආසාදිතයන් අඩුවීමට පටන් ගත්තේය.

පසුගිය ජූලි 24 වැනිදා යළිත් ආසාදිතයන් වාර්තා වීම ආරම්භ වූ අතර, සැප්තැම්බර් මාසයේ ආසාදිතයන් වැඩි වීමට පටන් ගත්තේය. බෙල්ජියම් සෞඛ්‍ය අමත්‍යාංශය මෙය කොරෝනා වයිරස වසංගතයේ දෙවැනි රැල්ල ලෙස හඳුන්වා දී තිබේ.

ඊයේ (19) වනවිට බෙල්ජියමේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 2,30,480 ක් තෙක් ඉහළ ගියේය. මරණ 10,443 පසු කළේය. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 21,214 ක් බව සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.

බ්‍රසල්ස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS