බි‍්‍රතාන්‍ය අගමැතිනියට තවත් විශ්වාසභංගයක්



බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේට එරෙහිව තමන් ද විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වන බව බි‍්‍රතාන්‍ය විපක්ෂ නායක ජෙරමි කෝර්බින් පවසයි.

විපක්ෂ නායක ජෙරමි කෝර්බින් එරට කම්කරු පක්ෂයේ නායකයාය. කොර්බින්, අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වෙන්නේ, යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙනි.

2016 වසරේ පැවැති ජනමත විමසුමෙන් තීරණය වූ පරිදි මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට සැරැසෙයි. එය සිදුවීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේදීය. ඉවත් වීම සම්බන්ධයෙන්, අගමැතිනී තෙරේසා මේ ප‍්‍රමුථ ඇගේ රජය යෝජනාවක් සකස් කර ඇත.

එම යෝජවනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට ඡන්ද විමසුමක් කළ යුතුය. බි‍්‍රතාන්‍ය අගමැතිනිය පැහැදිලි කර ඇත්තේ මේ මොහොතේ එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් බොහෝ දෙනකු ඊට විරුද්ධ වනු ඇතැයි කියාය.

යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිනියට කාලය ලබා දී ඇති නමුත් එය දිනෙන් දින ප‍්‍රමාද වන බවත්, එහෙයින් ලබන වසරේ ජනවාරි 14දා අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායක කොර්බින් පවසා ඇත.

බි‍්‍රතාන්‍ය අගමැතිනිය සකස් කර ඇති යෝජනාව අනුව යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයට ‘වන්දියක් ගෙවීමට’ සූදානම් වෙයි. මන්තී‍්‍රවරුන් බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ කිසිදු වන්දියක් නොගවා ඉවත්වීම කළ යුතු බවය. විපක්ෂය තරයේ කියා සිටින්නේ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම අවලංගු කළ යුතු බවය. එසේ අවලංගු කළහොත් එය බි‍්‍රතාන්‍ය වැසියන්ගේ විශ්වාසය කඩ කිරීමක් යැයි අගමැතිනී තෙරේසා මේ පාර්ලිමේන්තුවට පෙන්වා දී තිබේ.

ඉකුත් සතියේ ද අගමැතිනී තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් විය. ඒ, ඇගේ පාලක කොන්සවර්ටිව් පක්ෂය තුළිනි. එම විශ්වාසභංගය ඉදිරිපත් වූයේ අගමැතිනියගේ නායකත්ය අභියෝගයට ලක් කරමිණි. විශ්වාසභංගය ඉදිරිපත් කළ අවස්ථාවේදී අගමැතිනියට සහාය පළ කරමින් 200 දෙනකු ද විරෝධය දක්වමින් 117 දෙනකු ද ඡුන්දය ප‍්‍රකාශ කර තිබුණි. ඒ අනුව, විශ්වාසභංගය පරාජය කිරීමට අගමැතිනිය සමත් වූවාය.

2016 දී, තෙරේසා මේ අගමැති ධුරයට පත් වූයේ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් කළ ජනමත විමසුමෙන් පසුවය. එම ජනමත විමසුම පැවැත් වෙද්දී අගමැති ධුරයේ කටයුතු කළේ ඬේවිඞ් කැමරන්ය. 2016 වසරේ ජුනි මාසයේ පැවති ජනමත විචාරණයේදී බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව 51.9% දෙනෙක් ඡුන්දය ලබා දුන්හ.

ඒ අනුව, අගමැති ධුරයේ කටයුතු කළ ඬේවිඞ් කැමරන් ධුරයෙන් ඉවත් විය. තෙරේසා මේ අගමැති ධුරයට පත් වූවාය.  ජනමත විමසුමට අනුව, ලබන 2019 මාර්තු 29 වෙනි දින මධ්‍යම රාත‍්‍රිය වෙද්දී, බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුව ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS