බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් යුරෝපා සංගමයට ලිපියක්



බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය තවත් ප‍්‍රමාද කරන්නැයි ඉල්ලීමක් කරමින්, බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, යුරෝපා සංගමයට ලිපියක් යවා ඇති බව වාර්තා වේ.

බි‍්‍රතාන්‍ය අගමැති ජොන්සන් මෙම ලිපිය යවා ඇත්තේ පාර්ලිමේන්තුවේ බල කිරීම මැදය. එහෙයින්, එම ලිපියට ඔහු අත්සන් තබා නැති බව ද පැවැසෙයි.

බි‍්‍රක්සිට් යනු යුරෝපා සංමයේ සාමාජිකත්වයෙන් මහා බි‍්‍රතාන්‍යය ඉවත්වීමය. බි‍්‍රක්සිට් අවසන් දිනය දිනෙන් දින දිග්ගැස්සුණු අතර එය මේ මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇත.

බි‍්‍රතාන්‍ය අගමැතිවරයා මෙන්ම පාලක කොන්සවර්ටිව් පක්ෂ නායකයා ද වන බොරිස් ජොන්සන්ගේ අරමුණ වී ඇත්තේ, යුරෝපා සංගමය සමඟ ගිවිසුමක් ඇතිව හෝ නැතිව යුරෝපා සංගමයෙන් ඉවත්වීමටය. කෙසේ නමුත් විපක්ෂයෙන් පමණක් නොව, ඔහුගේ පක්ෂයේ ඇතැමුන් පවා බල කර සිටින්නේ ගිවිසුමක් ඇති කර ගනිමින් මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි කියාය.

ඒ අනුව, නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ බහුතරයකගේ බලපෑම මත අගමැති ජොන්සන්ට යුරෝපා සංගමයෙන් තවත් කල් ඉල්ලා ගැනීමට සිදුවිය. ඔහු ලිපිය යැවුවේ එසේ ඉල්ලමිනි. අගමැති ජොන්සන් තරයේ පෙන්වා දී ඇත්තේ බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය තවත් ප‍්‍රමාද කිරීමෙන් මහා බි‍්‍රතාන්‍යයට කිසිදු වාසියක් අත් නොවන බවය.

බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය තවත් ප‍්‍රමාද කරන්නැයි නිල වශයෙන් ඉල්ලීමක් කරමින් බි‍්‍රතාන්‍ය අගමැති ජොන්සන්ගෙන් තමන්ට ලිපියක් ලැබුණු බව යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඞ් ටස්ක් ට්විටර් පණිවුඩයකින් දන්වා ඇත.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS