බි‍්‍රතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අසාදනය වී, සංකූලතා හට ගැනීමත් සමඟ රෝහල් ගත කළ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ තත්ත්වය බරපතල බවත්, ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අග‍්‍රාමාත්‍ය ජොන්සන් රෝහල් ගත කෙරුණේ රෝගය වැලඳී දින 10 කට පසුවය. එම දින 10 ඇතුළත ඔහු අංක 10 ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේ නිරෝධායනය වෙමින් සිටියේය.

අග‍්‍රාමාත්‍යවරයා රෝහල් ගත කෙරුණේ වෛද්‍ය උපදෙස් මතය. රෝහලට යද්දී පවා අග‍්‍රාමාත්‍ය ජොන්සන් කියා සිටියේ, තවමත් රටේ නායකයා තමන් බවය.

කෙසේ නමුත්, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමත් සමඟ අග‍්‍රාමාත්‍ය ජොන්සන් විදේශ ලේකම් (ඇමැති) ඩොමිනික් රෝබ්ට පාලන කටයුතු තාවකාලිකව බාරදීමට පියවරගෙන ඇති බව ද වාර්තා වේ.
අගමැති ජොන්සන්ගේ සහකාරිය වන්නේ කැරී සිමොන්ඞ්ස් ය. ගැබිනියක වන ඇය ද කොරෝනා ආසාදිතයකු බව පසුගිය දා තහවුරු විය.

ඇය අගමැතිවරයාගෙන් වෙන් කර නිරෝධායනයට ලක් කෙරුණු අතර, වෛද්‍යවරුන් පැවැසුවේ ඇගේ තත්ත්වය යහපත් බවය. මේ අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, තම මිතුරා බොරිස් ජොන්සන්ට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කර ඇති බව ද වාර්තා වේ.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS