බල්ලෙක් බිරුවට බය නෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තර්ජනවලට තමන් බියක් නොදක්වන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත.
උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ ‘බල්ලකු බිරුවාට තමා කලබල නොවන බව’ යැයි උතුරු කොරියානු විදේශ ඇමැති රී යොංග් හෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.

උතුරු කොරියාව නියෝජනය කරමින්, විදේශ ඇමැති රී යොංග් හෝ ද මේ වනවිට එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සමුළුවට සහභාගී වෙයි.

ජනපති ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හඳුන්වන්නේ ‘රොකට්මෑන්’ යන නමිනි. හිතුවක්කාර අන්දමින් උතුරු කොරියාව සිදු කරන මිසයිල අත්හදා බැලීම් ඇමෙරිකාවට පමණක් නොව, මුළු ලොවටම තර්ජනයක් බව ට්‍රම්ප් මහ සමුළුව අමතමින් පැවැසුවේය. ට්‍රම්ප් ජගත් මහ සමුළුවක් ඇමැතූ පළමු අවස්ථාව මෙය විය. ප්‍රහාරයක් එල්ල කර උතුරු කොරියාව විනාශ කිරීමට පවා තමා පසුබට නොවන බව එම අවස්ථාවේදී ජනාධිපති ට්‍රප්ම් කියා සිටියේය.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය උතුරු කොරියානු නායකයාගේත් එරට රජයේත් දෝෂදර්ශනයට ලක් වී ඇත.

උතුරු කොරියාව මේ අයුරින් දැඩි ලෙස විවේචනය කිරීම නුවණට හුරු නොවන බව චීනය පවසයි. උතුරු කොරියාව ‘මෙල්ල කිරීම’ සම්බන්ධයෙන් චීනය ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වයි. චීනයේ අදහස වී ඇත්තේ ට්‍රම්ප් උතුරු කොරියාව දැඩි ලෙස විවේචනය කිරීම මගින් පවතින අර්බුදය තව තවත් දිග්ගැස්සුණු බවය. පසුගිය දා ඇමෙරිකාව මැදිහත් වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා උතුරු කොරියාවට සම්බාධක පැනැවීමට කටයුතු කළේය. මෙම අවස්ථාවේදී ඇමෙරිකාවට චීනයේ සහාය හිමිවිය.

(රොයිටර්)


RECOMMEND POSTS