බලවතා වෙන්න චීනයට ඕනෑකමක් නෑ



සෙසු රටවල් අමාරුවේ දමා අසරණ කරමින් හෝ බලපෑම් කරමින් හෝ ලෝක බලවතා වීමේ අදහසක් චීනයට නැතැයි එරට ජනාධිපති ෂී ජින්පින් කියයි.

චීන ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, චීනය නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර වසර 40 ක් ගතවීම නිමිත්තෙන් පැවැති මහ සමුළුම අමතමිණි.

අද ලොව දෙවැනි ආර්ථික බලවතා වන්නේ චීනයයි. චීනය එසේ ආර්ථික බලවතකු වී සිටින්නේ නව විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසාය.

ලෝක බලවතකු වී අනෙක් රටවල් පීඩාවට පත් කිරීමට චීනයේ කිසිදු අදහසක් නොමැති බවත්, චීනය ආර්ථික වශයෙන් බලවතකු වීම කාටවත් වැළැක්විය නොහැකි බවත් ජනාධිපති ජින්පින් වැඩිදුරටත් පැහැදිලි කළේය.

ආර්ථික වශයෙන් චීනය කොතරම් ශක්තිමත් වුවත්, චීනය සැමවිටම සෙසු රටවල් සමඟ සහජීවනයෙන් කටයුතු කරන බවත්, මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් කැපවී සිටින බවත් චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කළේය.

අප්‍රිකා සහ ආසියා රටවල ආර්ථික අර්බුදවලට මුහුණ පා සිටින රටවලට දරාගත නොහැකි අයුරින් ණය දී, එම රටවල් ණය උගුලකට හසුකරනවා යැයි චීනයට චෝදනා එල්ල වී ඇත. චීනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS